Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2021 19:26:59 Hours

පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහල නැංවීමට අවබෝධතා ගිවිසුමක්

ත්‍රිවිධ හමුදා සහ සිවිල් අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රිඩා කෞෂල්‍ය ඉහළ නැංවීමේ අරමුණින් සහ පැරා ක්‍රීඩා ක්ෂේත්‍රය වර්ධනය කිරීම උදෙසා නව අවබෝධතා ගිවිසුමකට එලඹෙන ලදී. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ජාතික පැරාලිම්පික් කමිටුව එක්ව පෙරමුණගෙන ක්‍රියාකරයි.

පැරා, පැරාලිම්පික් සහ වෙනත් ක්‍රීඩා ඉසව්වන් ඉලක්ක කරගනීමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලින් සඳහා සහභාගි වන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් කෙටි කාලයක් තුල ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මැතිතුමන් එම අමාත්‍යාංශය හරහා රුපියල් මිලියන 47 ක මුදලක් මෙම වැඩසටහන සඳහා වෙන් කර ඇත.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මැතිතුමන් සමගින් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් අමල් එදිරිසිංහ මහතා සහ ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනන් කර්නල් එල්.ආර්.ටී.ඩි. හේරත් (විශ්‍රාමික) අද (14) දින උදෑසන කොළඹ 07 පිහිටි ජාතික ක්‍රීඩා කවුන්සිල කාර්යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.  

ජාතික ක්‍රීඩා කවුන්සිලය විසින් හඳුන්වාදෙන ලද 9 වන ‘ක්‍රීඩා සංවර්ධන’ වැඩසටහන අනාගතයේ දී ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ උදෙසා ප්‍රමුඛත්වයක් මත පදනම්ව පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඉහළ නැංවීමට සහ ඔවුන් දිරීමත් කිරීමට අදහස් කෙරේ.

එළඹෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙල - 2022 මෙන්ම අනාගතයේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලින් සඳහා දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.  

මෙවර ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ක්‍රීඩා උළෙල - 2021 සඳහා ක්‍රීඩකයින් 9 දෙනෙකු සහභාගී වේ. මෙම කණ්ඩායමට යුද්ධ හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු (යුද්ධ හමුදා සේවයේ නියුතු සහ විශ්‍රාමික) මෙන්ම නාවික හමුදාවේ ක්‍රීඩකයෙකු සහ සිවිල් අංශයේ ක්‍රීඩකයෙකු ද ඇතුළත් වේ.  

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයින් සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, පුහුණුකරුවන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු සහභාගී වූහ.