Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2022 14:18:32 Hours

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්‍ෂකයින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

පාකිස්ථාන ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ (NDU) දැනට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හඳාරණ උපාධි අපේක්ෂකයින් පිරිසකගේ විෂය මාලාවේ කොටසක් ලෙස දින පහක ක්‍ෂේත්‍ර සංචාරයක් සඳහා ඉකුත් අඟහරුවාදා (7) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

එයාර් කොමදෝරු අක්තාර් ඉම්රාන් සද්දෝසා (Air Commodore Akhtar Imran Saddoza) ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් යුත් 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත කැටුව යෑමට මත්තෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභයසදී විදේශ පාඨමාලා භාර කර්නල් පුහුණු කර්නල් උදේශ රත්නායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් එයාර් කොමදෝරු අක්තාර් ඉම්රාන් සද්දෝසායිගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට සපැමිණි දූත පිරිස පිළිගෙන ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත විය.

එහිදි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා සහ පකිස්තාන සන්නද්ධ හමුදාවන් අතර පවතින සහයෝගීතාවය කෘතඥතාපූර්වකව පිළිගනිමින්, දෙරට අතර පවතින පුහුණු වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබද කරුණු අවධාරණය කළේය.

මෙම සුහද අන්තර් ක්‍රියාකාරී හමුව අවසානයේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් නියෝජිතයින් පිරිසට ශ්‍රී ලංකාව තුළ රැදි සිටිමින් සිය අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකර ගැනීමට හැකිවේවායි සුභාසිංසන එක්කරමින් සමරු තිළිණ කිහිපයක් ද ඔවුන් වෙත ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැති සැසියකදි මානුෂීය මෙහෙයුම් පිළිබඳ මෙන්ම විවිධ ආරක්‍ෂක අභියෝග සහ ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදාවේ කාර්යභාරය පිළිබඳ දූත පිරිස දැනුවත් කරන ලදී.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සමඟ පැවැති සාකච්ඡාව අවසානයේ දූත පිරිස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනි සිටියහ. එළබෙන බදාදා (8) දින යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික විනෝදාස්වාදයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.