Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2021 22:38:13 Hours

ප්‍රමාදයකින් හා අක්‍රමිකතාවයකින් තොරව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය නව රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර අද (01) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. එම අවබෝධතා ගිවිසුමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අත්සන් තැබුහ.

මීට පෙර පැවැති ජාතික රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් දූෂණය, විෂමතා සහ අක්‍රමිකතාවයන්ගෙන් තොරව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය සිදුකරන අතර එම ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැරණි රියදුරු බලපත්‍රය වෙනුවට නව රියදුරු බලපත්‍රයක් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කෙරිණි.

මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, දෙපාර්තමේන්තු නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන සියගණනක් මහජනතාවට දුෂණයෙන් තොර කාර්යක්‍ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත 2020 ජුලි මස 01 වන දින කැබිනට් මණ්ඩලය විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය යුද්ධ හමුදාවට භාරදීමට තීරණය කරන ලදී.

වෙරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී යුද්ධ හමුදා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය විසින් පළමු රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරිමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එම පරිශ්‍රයේ සංචාරය කළ අතර අද (01) දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු සිදු කරයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යුද්ධ හමුදාව වෙත භාරදීමේ කැබිනට් තීරණය පිළිබඳව දැනුම් දීමෙන් පසු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ යුද්ධ හමුදා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානයක් වහාම ආරම්භ කරන ලෙසත්, නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් මුද්‍රණ කටයුතු කිරීමේ වගකීම භාර ගැනීමට සූදානම් වන ලෙසත් යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී වෙත උපදෙස් දුන්නේය. එසේම, මීට මාස කිහිපයකට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් නව රියදුරු බලපත්‍රය සකස් කරගැනිම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකළ සංචාරයකදී නව බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන අයදුම්කරුවන් සේවය ලබාගැනීමේදී මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ අවබෝධයක් ලබාගත්තේය.

වසර 15 කට අධික කාලයක් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමක් විසින් විදේශීය සමාගමක් සමඟ එක්ව හවුල් ව්‍යාපාරයක් ලෙස සිදුකර ඇති අතර ඒ සඳහා විශාල විදේශ විනිමයක් වැය කර ඇත. කෙසේ වෙතත්, පෙර කළමණාකරණයේ සේවය කළ සේවකයින් 45 දෙනෙකුගේ රැකියාව සහතික කරමින් යුද්ධ හමුදා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය ඔවුන්ගේ පළපුරුදු සේවයට සහ ඔවුන් සතුව ඇති සුවිශේෂී විශේෂඥතාවයට සුවිශේෂිත්වයක් එක්කරමින් යුද්ධ හමුදා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය හරහා ඔවුන් යුද්ධ හමුදාවට බඳවා ගැනීමට එකඟ විය.

සෑම දිස්ත්‍රික්කයකින්ම නව රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා අනුමත අයදුම්පත් කට්ටල ලැබීමෙන් පසු වේරහැර පිහිටි නව යුද්ධ හමුදා තොරතුරු විසඳුම් මධ්‍යස්ථානය විසින් එම තොරතුරු පරිගණක ගත කර තොරතුරු පද්ධති වෙත ඇතුලත් කර රට පුරා ඇති රියදුරු බලපත්‍ර කාර්යාල සමඟ එක්ව එම දත්ත කළමනාකරණය කරමින් රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන අතර එම පහසුකම් ඇත්තේ අද (1) දින වනවිට දිස්ත්‍රික්ක 9 ක් සඳහා පමණක් වේ. Sportswear Design | Nike sneakers