Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2024 16:43:04 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඩී.ඒ අමරසේකර යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.ඒ අමරසේකර යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟින් ඉකුත් අඟහරුවාදා (පෙබරවාරි මස 20) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී එතුමන් හමුවිය.

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී භඨකාර්ය සම්පාදක නිලධාරියෙකු වශයෙන් එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඩී.ඒ අමරසේකර යූඑස්පී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් ඩී.ඒ අමරසේකර යූඑස්පී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයෙන් පාඨමාලා අංක 7 හදාරන අතරතුරදී පාකිස්ථානයේ ලාහෝර්හි ඉංජිනේරු සහ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය හැදෑරීමට ද අවස්ථාව හිමි විය. පසුව දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව අවසන් කර 1991 නොවැම්බර් මස 14 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලැබූ එතුමන් 2023 සැප්තැම්බර් මස 24 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ධුරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළදී වවුනියාව අභ්‍යන්තර ආරක්‍ෂක බලඇණියේ ඛණ්ඩ භාර අණදෙන නිලධාරී, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි වැඩමුළු නිලධාරී, පලාලි ක්ෂේත්‍ර වැඩපොලෙහි නිලධාරී අණදෙන, 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි නිලධාරී අණදෙන (පරිපාලන), විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලික වැඩපල (කොළඹ) නිලධාරී අණදෙන, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි විධායක අධිකාරී, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි මධ්‍යම වැඩපොලෙහි නිලධාරී අණදෙන, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු භටපිරිස්හි නිලධාරී අණදෙන, කටුබැද්ද - මූලික ක්ෂේත්‍ර වැඩපොලෙහි දෙවන අණදෙන නිලධාරි, 56 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන සහ භටකාර්ය සම්පාදක), උඩවලව මූලික ක්ෂේත්‍ර වැඩපොලෙහි වැඩ බලන සේනාවිධායක, 3 සහ 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, කොස්ගම යුද්ධ හමුදා කාර්මික ව්‍යාපෘතියේ සේනාවිධායක, කටුබැද්ද - මූලික ක්ෂේත්‍ර වැඩපොලෙහි සේනාවිධායක, 68 පාබල සේනාංකයේ කර්නල් පාලන සහ භටකාර්ය සම්පාදක, ආරක්‍ෂක සේනා මුලස්ථාන‍- මුලතිව් කර්නල් පාලන සහ භටකාර්ය සම්පාදක, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පාසලෙහි සේනාවිධායක, ජාතික ශිෂ්‍යභට බලකායේ බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදක, 1 බලකායේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදක වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළදී ඒකක ගිණුම්කරණ නිලධාරී පාඨමාලාව, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පුහුණු පාඨමාලාව, උසස් ඉංග්‍රීසි පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ මූලික පාඨමාලාව- බංග්ලාදේශය, වැඩපල භට කණ්ඩායම් අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, උසස් යාන්ත්‍රික ඉංජිනේරු නිලධාරී පාඨමාලාව - ඉන්දියාව සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පාකිස්ථානයේ ලාහෝර්හි ඉංජිනේරු සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ආරක්‍ෂක අධ්‍යයන) ශ්‍රාස්ත්‍රපති උපාධිය සහ ශ්‍රී ලංකාවේ මෝටර් රථ ඉංජිනේරු ආයතනයේ අවසාන විභාගය වැනි උසස් අධ්‍යාපනික සහ හමුදා නොවන පාඨමාලා ගණනාවක් හදාරා ඇත.