Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th November 2020 00:00:35 Hours

නව ගුවන් හමුදාධිපතිතුමන් හමුදා ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළිගැනේ

ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස අභිනවයෙන් රාජකාරි ඇරඹූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (05) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සිය ප්‍රථම නිල හමුව පැවැත්වූවේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ගුවන් හමුදාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුවේය.

අනතුරුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් සේන වුඩගේ විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරය පිළිගැනීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වන ගුවන් හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබූ අතර, එහිදි ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත සම්මාන මුරයේ ගෞරවාචාර දක්වන ලදී.

පසුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව එම අවස්ථාවට එක්ව සිටි යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ට නිලධාරීන් එතුමන් වෙත හඳුන්වා දුන්නේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති අතර හමුදාධිපති කාර්යාලයේදී පැවති සුහද හමුවේදී විවිධ රාජකාරිවල නිරතව සිටින යුද හා ගුවන් හමුදා භටපිරිස් අතර පවතින සහයෝගීතාවය සහ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අතීතයේ ඔවුන් ඉටුකළ වගකීම සහ ඔවුන්ගේ විශිෂ්ඨ දායකත්වය පිළිබඳව ද සිහිපත් කළේය. එමෙන්ම, ජාතික ආරක්‍ෂාව පිළිබඳ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය. සුහඳ පිළිසඳර නිමාවත් සමඟ ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

වැඩසටහනේ නිමාව සනිටුහන් කරමින්, එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යුද්ධ හමුදාධිපති කාර්යාලයේ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවේය.

වර්ෂ 1965 දෙසැම්බර් මස 30 දින උපත ලද එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අභිමානවත් ශිෂ්‍යයෙකු වේ. 1985 ජූලි මස 02 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුනු ඔහු 14 වන කෙඩෙට් නිලධාරි පාඨමාලාවේ හොඳම කෙඩෙට් නිලධාරියාට හිමි සම්මානය ලබාගනිමින් සිය මූලික පුහුණුව සම්පූර්ණ කළේය. පකිස්ථානයේ උසස් පියාසර පාඨමාලාව (advanced flying training in the Pakistan Air Force) සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු පියාසර කණ්ඩායමේ සාමාජිකයෙකු වන එතුමන් සහභාගී වූ අතර, එම පාඨමාලාවේ දක්‍ෂතම විදෙස් නිලධාරියාට හිමි සම්මානය ද එතුමන් විසින් හිමිකරගන්නා ලදී.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ කීර්තිමත් සේවය අගයමින් එතුමන් වෙත ‘විශිෂ්ඨ සේවා විභූෂණය’ සහ ‘උත්තම සේවා පදක්කම’ ද ප්‍රදානය කර ඇත. මානුෂීය මෙහෙයුම්වලදී එතුමන් දැක්වූ විශිෂ්ඨ හා පරාර්ථකාමී දායකත්වය වෙනුවෙන් එතුමන් වෙත ‘වීර වික්‍රම විභූෂණ’ පදක්කම දෙවරක්, ‘රණ වික්‍රම පදක්කම’ දෙවරක් සහ ‘රණ ශූර පදක්කම’ සිව්වරක් වශයෙන් අවස්ථා 8 කදී විශිෂ්ඨ පදක්කම් ප්‍රදානය කර ඇත.

ගුවන් හමුදා කඳවුරු තුනකට අණදීම සිදුකර ඇති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලෙසද කටයුතු කර ඇත. ගුවන් හමුදාධිපති ලෙස තේරීපත්වීමට ප්‍රථම, වර්ෂ 2017 දී ගුවන් හමුදා කළමණාකරන මණ්ඩලයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ එතුමන් වර්ෂ 2019 දී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ ද කටයුතු කළේය. url clone | Autres