Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:17:46 Hours

නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

19 වන ගුවන් හමුදාධිපති ලෙස ධූරයේ රාජකාරි කටයුතු භාරගත් එයාර් මාර්ෂල් ආර්.ඒ.යූ.පී රාජපක්‍ෂ ආර්එස්පී (දෙවරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) ඇමරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ඒ අයිඑස් සහ එස් (එක්සත් රාජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස්, පීඑස්සී බ්‍රහස්පතින්දා (13) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානාකූල ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ සහ නව ගුවන් හමුදාධිපතිතුමන් අතර සුහද හමුවක් පැවැත්විණි.

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් පිරිනමනු ලැබූ හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන් වෙත ආරාධනා කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හඳුන්වාදෙනු ලැබීය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සමඟින් සමූහ ඡායාරූප කිහිපයක් ද ගනු ලැබීය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති සුහද හමුවේදී යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව අතර පවතින සමීප සහයෝගීතාවය මෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ගුවන් හමුදා සාමාජිකයන් දැක්වූ දායකත්වය පිළිබඳ සිහිපත් කෙරිණි.

මෙම සුහද හමුවේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාවට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡා කළ අතර, සුහද හමුව සමාප්තියේදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ යුද්ධ හමුදා මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. අතිගරු ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ නිර්දේශය මත එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති ලෙස 2023 ජුනි මස 30 දින පත්කෙරිණී.

වර්ෂ 1988 ඔක්තෝබර් මස 6 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ 6 වන කෙඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව තුලින් මූලික හමුදා පුහුණුව ලැබීමෙන් පසු සිය මූලික පියාසර පුහුණුව සඳහා අනුරාධපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අංක 1 පියාසර පුහුණු අංශය වෙත අනුයුක්ත කරන ලදී. මූලික සහ උසස් පියාසර පුහුණුවෙන් පසුව එතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 5 දින පොදු රාජකාරි ගුවන් නියමුවන්ගේ ශාඛාවේ ගුවන් නියමු නිලධාරි නිලයට පත්කෙරිණි.

මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ නිර්භීතකම සහ පරාර්ථකාමී දායකත්වය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත අවස්ථා තුනකදී කීර්තිමත් පදක්කමක් ලෙස සැලකෙන ‘රණ ශූර පදක්කම’ පිරිනමනු ලැබීය. ආදර්ශවත් සහ නොකැළැල් සේවය වෙනුවෙන් එතුමන් ‘විශිෂ්ට සේවා විභූෂණය’ සහ ‘උත්තම සේවා පදක්කම’ යන පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.