Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 19:30:37 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නව ආඥාපති ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බදාදා (26) දින ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එතුමන් වෙත ආරාධනා කරන ලදී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පලාලි රණවිරු ස්මාරකය අභියසදී 2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී යාපනය අර්ධද්වීපයේ රාජකාරි කරමින් සිටියදී දිවිපිදූ ත්‍රිවිධ හමුදා රණවිරුවන් අනුස්මරණය කරනු ලැබීය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලස්ථානයෙහි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයන් ඇමතූ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සිය ඉදිරි දැක්ම පිළිබඳ පැහැදිලි කරමින් මනා විනයකින් යුතුව යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා වන අයුරින් තම රාජකාරි කටයුතු සිදුකරන ලෙස ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් පසු උත්සවයේ සමාප්තිය සනිටුහන් කෙරිණි.

උත්සව අවස්ථාව සඳහා 51, 52 සහ 55 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලාසේනාධිපතිවරුන්, භඨකාර්ය සම්පාදන ඒකක ඇතුළුව සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක්ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට මෙම තනතුරට පත් වූ අතර, එතුමන් නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් ලෙස ද රාජකාරි කටයුතු සිදුකර තිබිණි.