Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th June 2023 18:06:46 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුනි මස 07) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථාන ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සරඹ භූමියේදී භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. ඉන් අනතුරුව, ධුරයේ රාජකාරි කටයුතු භාරදීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ ඡායාරූප කිහිපයකට එක් වූ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ධූර කාලය තුළ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකළේය. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, ඒ යටතේ ස්ථාපිත සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර වෙතින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කිරීමෙන් පසුව එතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථාන නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.

එතුමන් සිය ධූරයෙන් නික්ම යාමට ප්‍රථම, පසුගිය සඳුදා (ජුනි මස 05) දින 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයකට අනුව අම්පාර, මල්වත්ත ප්‍රදේශයේ ස්ථාපිත 24 සේනාංකයේ සුහද සංචාරයක නිරතවිය. සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව, නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයකට එක් වූ එතුමන් එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.