Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th September 2020 20:40:04 Hours

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හඳුන්වාදෙන ලද තොරතුරු තාක්‍ෂණ නව්‍යකරණ මෘදුකාංග සංවර්ධන විසඳුම් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලබන ‘Finger Swift-2020’ නැමැති නව්‍ය තොරතුරු තාක්‍ෂණ මෘදුකාංග සංවර්ධන විසඳුම් එකතුව සහ විවිධාංගීකරණ තොරතුරු තාක්‍ෂණ යෙදුම යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (07) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ දී හඳුන්වාදෙන ලදී.

ශ්‍රී ලංකා සංඥා බළකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය ගේ මඟපෙන්වීම යටතේ නවෝත්පාදන තොරතුරු තාක්‍ෂණ නව්‍යකරණය මෘදුකාංග සංවර්ධන විසඳුම්, දීප ව්‍යාප්ත ජාලකරණ පහසුකම්, නිමැවුම් සහ නවෝත්පාදන, නවීන සයිබර් ආරක්‍ෂණ ප්‍රමිති ක්‍රම, දත්ත මධ්‍යස්ථාන සේවා වැනි නව්‍යකරණයන් යථාර්තයක් බවට පත්කරගැනීමට ඉඩප්‍රස්ථාව උදාවිය. එම නවෝත්පාදනයන් සාක්‍ෂාත් කරගැනීම සඳහා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරාල් අදීප තිලකරත්න සහ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අශෝක පීරිස් සිය නොමසුරු දායකත්වය ලබා දී තිබිණි.

පර්යේෂණ හා තාක්‍ෂණික අත්හදා බැලීම් මාලාවන්හී ප්‍රතිඵලයක් ලෙස යුද්ධ හමුදා අණ හා පරිපාලන මෙහෙයුම් වඩාත් කාර්යක්‍ෂමව සිදුකිරීම වෙනුවෙන් නව තාක්‍ෂණය යොදාගනිමින් නිර්මාණය කර ඇති මෙම යෙදුම් තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මෘදුකාංග සංවර්ධන හා ඉංජිනේරු අංශය විසින් හඳුන්වාදෙනු ලැබිණි. මෙම නවෝත්පාදන එළිදැක්වීමේ අවස්ථාවේදී ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් අදීප තිලකරත්න විසින් මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාවට ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව අභිනවයෙන් නිපදවන ලද මෙම මෘදුකාංග යෙදුම්, පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකරන ලදී.

එම අවස්ථාවේදීම, විවිධ සියළු නිලයින් වෙනුවෙන් භාවිතා කළ හැකි රෝගී වාර්ථා පද්ධතිවල සාරාංශගත විස්තර යෙදුම විවෘත කිරීම සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා ලැබිණි. මෙම අවස්ථාව වෙනුවෙන් සිදුකරන ලද කෙටි දේශනයේදී, සංකීර්ණ ක්‍රියාකාරකම් සරල කිරීම සහ වේගයෙන් වෙනස් වන අවශ්‍යතාවන්ට සරිලන පරිදි තාක්‍ෂණික දියුණුවේ වර්ධනයන් ප්‍රවර්ධනය කිරීමට මෙවැනි නව පරිඝණක මෘදුකාංගයන්වල ඇති වැදගත්කම පිළිබඳව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් අවධාරණය කළේය.

යුද්ධ හමුදාවේ මෙහෙයුම් හා පරිපාලනමය කටයුතුවල පහසුව සඳහා මෘදුකාංග යෙදුම් සංවර්ධනය කිරීම සඳහා ගත් උත්සාහයන් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායට සහ එහි නිලධාරින් වෙත සිය කෘතඥතාවය පළ කළේය. එමෙන්ම, ඉකුත් වසර කිහිපය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බළකායේ නිලධාරින් ඇතුළු සෙසු නිලයින් එම බළකාය පූර්ණ වශයෙන් ඩිජිටල්කරණයට ලක් කිරීම සඳහා ගත් උත්සාහයන් ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් “මෙම කටයුත්ත සාර්ථක කරගැනීම වෙනුවෙන් ඔබ ලබාදුන් සහයෝගය දැනටමත් යුද්ධ හමුදාව මගින් හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන්, ඔබ සිදුකළ කැපකිරීම කිසිසේත් නිරර්ථක උත්සාහයක් නොවන බවත්, ඒ වෙනුවෙන් ඉදිරි කාල සීමාව තුළ යුද්ධ හමුදාව මගින් ඔබට හිමිවිය යුතු ප්‍රතිලාභයන් ලබාදෙන බවටත් මා සහතික වනවා.” යැයි ප්‍රකාශ කර සිටියේය.

“අන් කවර කාල සීමාවකටත් වඩා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි මෙරට ජනතාව තුළ දැඩි විශ්වාසයක් සහ ගෞරවයක් ඇති වී තිබෙනවා. ඒ වගේම, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති මෙවන් මොහොතක සමස්ථ ත්‍රිවිධ හමුදාවම ඔවුන් වෙත ලබාදෙන ඕනෑම මෙහෙවරක් ඕනෑම අවස්ථාවක උපරිම අයුරින් ඉටු කිරීමට විනයගරුක හමුදාවක් වශයෙන් සූදානම්ව සිටිනවා.” යැයි ද එතුමන් වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදි ආයුධ සමාකෘතීන්, යුද්ධ හමුදා වෙබ් පිටුවෙහි සාරාංශගත විස්තර යෙදුමක්, භූමිය පදනම් කරගත් පුද්ගලික තොරතුරු පද්ධතිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉන්ධන බෙදාහැරීම් හා කළමනාකරණ පද්ධති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉගෙනුම් කළමනාකරණ පද්ධති, යුද්ධ හමුදා සුභසාධන වෙළඳසැල් ඔස්සේ සියළු නිලයින්ට සහනදායි මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව සහිත පද්ධතියක් ආදී මෘදුකාංග කිහිපයක සුවිශේෂතා සහ ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කරනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, බුත්තල ඒකක අණදෙන නිලධාරි පාඨමාලා අංක 07 හි ශිෂ්‍ය නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Sports News | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf