Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2021 18:02:08 Hours

තිස්ස විහාරයේ නව ‘ස්ථූපය’ ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් මුල්ගල තබයි

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ නව ස්ථූපයක් සහ ආරාමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු අතර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබිණ.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ඓතිහාසික විහාරස්ථානයේ නව ස්ථූපය සහ ආරාමයේ ඉදිකිරීම් කටයුතු සඳහා මුල්ගල් තැබුවේය. මීට ශතවර්ෂ ගණනාවකට පෙර දේවානම්පියතිස්ස රජ සමයේදී (ක්‍රි.පූ 250-210) සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමකරවාගෙන අනුරාධපුරය දක්වා යන අතරතුර විවේක ගැනීමට මෙම විහාරස්ථානයට වැඩම කරනු ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.

අඩි 100 ක උසකින් යුතු මෙම ස්ථූපයේ ඉදිකිරීම් කටයුතු මොරටුව විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්ප පීඨයේ සිසුන් විසින් සැලසුම් කර ඇති අතර එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සමිතා මානවඩු සහ මහාචාර්ය නිමල් ද සිල්වා විසින් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වැඩිදුර තාක්‍ෂණික විශේෂඥ දැනුම ලබාදෙති. මෙම චෛත්‍යයේ සහ ආරාමයේ ඉදිකිරීම් කටයුතු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් සිදුකරනු ලබති.

මෑත කාලීනව, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙතින් වත්මන් විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ සහයෝගය ඇතිව විහාරස්ථානයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර 67 කට පසුව එම විහාරස්ථානයේ ‘කඨින පූජා’ පිංකමද යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පැවැත්විණි. මීට මාස කිහිපයකට ප්‍රථම, යුද්ධ හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර එම ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති වශයෙන් කටයුතු කරන සමයේ ගරුරාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ගේ සහයෝගය ඇතිව මෙම විහාරස්ථානයේ සංවර්ධනය වෙනුවෙන් විශාල සේවයක් සිදුකළ අතර විහාරස්ථානයට විශාල බුද්ධ ප්‍රතිමාවක් ද ප්‍රදානය කරනු ලැබිණ. මෙම ස්ථූපයේ ඉදිකිරීම් කටයුතු මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ සම්බන්ධීකරණය ඇතිව වත්මන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරනු ලබයි.

මෙහිදී, අස්ගිරි පාර්ශවයේ අති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ භික්‍ෂූන් වහන්සේලා ගේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සුභ මොහොතින් පූජනීය දාගැබ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීය. ඊට අමතරව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, මහාචාර්ය සමිත මානවඩු, මහචාර්ය නිමල් ද සිල්වා, තුෂාරා තේනුවර මෙනවිය ඇතුලු කිහිපදෙනෙකු එම අවස්ථාවේදීම මුල්ගල් තැබූහ.

මෙම ආරාමයේ ඉදිකිරීම් කටයුතු සඳහා බුද්ධ ශාසනා, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ස්තූපයේ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය හා විදේශීය බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් සිය අනුග්‍රාහකත්වය සැපයීමට ඉදිරිපත් වී සිටිති. මෙම වැඩසටහනේ ඉදිකිරීම් කටයුතු ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්. පණ්ඩිතරත්න සහ ස්වෙච්ඡා බැතිමතෙකු වන තුෂාරා තේනුවර මෙනවිය විසින් සම්බන්ධීකරණය කරති.

මුල්ගල් තැබීමෙන් පසුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තල් සෙවණ යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ දී මෙම අවස්ථාවට වැඩමවා වදාළ භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් දානය පිරිනැමූ අතර ඉන් අනතුරුව, යාපනයට වැඩමවූ භික්‍ෂුන් වහන්සේලා සමඟ අදහස් හුවමාරු කරගත්තේය. මෙම අවස්ථාවට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බලසේනාධිපතිවරුන්, නාවික, ගුවන් හමුදාවන්, පොලිසිය, විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සහභාගී වූවන් සහ යුද්ධ හමුදා භටපිරිස් ද සහභාගී වූහ. latest jordan Sneakers | Sneakers