Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2018 15:34:55 Hours

තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 196 ක් මාදුරුඔයදී විසිර යති

මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පාඨමාලා අංක - 48 යටතේ පුරා මාස 09 ක කාලයක් සාර්ථකව පුහුණුව හැදෑරු නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිළයින් 189 දෙනෙකු සඳුදා (09) දින උදෑසන සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.

විශේෂ බලකාය, යුද්ධ හමුදාවේ වඩාත් ප්‍රශංසනීය සේවාවක් ඉටුකරනු ලබන යුද්ධ හමුදාවේ ඒකකයක් ලෙසින් ගෞරවයට පාත්‍රවී ඇති අතර ත්‍රස්තවාදීන් ද විමතියට පත් කල අභීත සෙබළුන්ගෙන් සැදුම්ලත් ඒකකයක් වශයෙන් ප්‍රකට වී ඇත.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ව, විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර මේජර් ඩබ්ලිව්.ආර්.ඒ.එස්.එම්. රණසිංහ ගේ අණදීම යටතේ හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් ද අතිගරු ජනාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙම විශේෂ සම්මාන ආචාර පෙළපාලිය පරික්ෂා කළ අතර අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කල යුද්ධ හමුදා සාමාජිකයින් වෙත විශේෂ බලකා ලාංඡන පැළඳවීම සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව, පාඨමාලාව හදාරණ ලද සෙසු පිරිස සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න විසින් විශේෂ බලකා ලාංඡන පලදවන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් පාඨමාලා අංක 48 හී සෑම අතින්ම අතිශුර සිසුවා මෙන්ම හොඳම ශාරීරික යොග්‍යතාවය හිමි සිසුවා ලෙස දෙවන ලුතිනන් ඩබ්ලිව්.එම්.කේ.ආර්. වනිගසුරිය වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමු අතර පාඨමාලාවේ දක්ෂතම වෙඩිකරු ලෙස ලුතිනන් ඊ.එම්.ටී.බී.බී. ඒකනායක වෙත ද කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.

මෙහිදී විශේෂ බලකා සෙබළුන් ඉදිරිපත් කල පැරෂුට් සංදර්ශනය, අංගම්පොර සටන්, නිරායුධ සටන්, ටයිකොන්ඩෝ සංදර්ශනය, නාගරික සටන් සංදර්ශන, විශේෂ බලකා රණකාමිත්වය විදහාපාන නගරබද සටන් සංදර්ශන මඟින් මෙම උත්සවය තවත් වර්ණවත් විය.

එහිදි අතිගරු ජනාධිපතිතුමන් සියලුදෙනා අමතමින්, ඉහළ මට්ටමකින් යුක්ත විනයක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කල අතර විශේෂ බලකායේ සේවයේ නියුතු සහ ආබාධිත තත්ත්වයට පත් සියළුම නිලධාරින් සහ සෙසුනිලයින් ද ඇගයුමට ලක් කළහ.

පාඨමාලාවේ සිසුන් විසින් විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳව වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කල අතර එම අවස්ථාව යුද්ධ හමුදා සංස්කෘතික නර්ථන කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමකින් වර්ණවත් කළහ.

මෙම අවස්ථාවට සපැමිණි සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපතිතුමන් ඔසු උයන වෙත කැඳවාගෙන ගිය අතර එහිදි අතිගරු ජනාධිපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් පැළයක් ද රෝපණය කළහ.

අතිගරු ජනාධිපතිතුමන් පාඨමාලාව සඳහා සහභාගී වූ සිසුන්ගේ දෙමාපියන් සමඟ ද සුහදව සාකච්ඡා කල අතර ඔවුන්ගේ සුභසාධනය කටයුතු පිළිබඳවද විමසන ලදී.

යුද්ධ හමුදා සේවා වනීතා ඒකකයේ සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මහත්මිය, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුෂිත පනන්වල, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, විශේෂ ආරාධිතයින් සහ විසිර ගිය විශේෂ බලකා සෙබළුන්ගේ දෙමාපියන් සහ ඥාති හිත මිත්‍රාදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

Authentic Sneakers | Women's Nike Superrep