Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2020 19:00:37 Hours

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙන තවත් විශේෂ බලකා සෙබළුන් 300දෙනෙකු මාදුරුඔයේ දී විසිර යති

විශේෂ බලකා පාඨමාලා අංක - 50 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිමකළ නිලධාරින් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 295 දෙනෙකු ගේ විසිර යෑමේ උත්සවය සෙනසුරාදා (12) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවති අතර, මෙම විසිර යෑමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ විශිෂ්ඨ රෙජිමේන්තුවක් වන විශේෂ බලකායේ වික්‍රමාන්විත සාමාජිකයන් මෙම රෙජිමේන්තුව ආරම්භයේ සිටම මෙන්ම එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරනු ලැබූ සටනේ අවසන් වසර කිහිපය තුළදීත් ශ්‍රී ලාංකීය ජාතියට අගනා සේවාවක් ඉටු කළ අතර, ඔවුන් දිගු දුර මෙහෙයුම් වැනි සුවිශේෂී උපායශීලි හැකියාවන් තුලින් ත්‍රස්තවාදීන් වඩාත් භීතියට පත්කිරීමට සමත්වූවන් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

එම පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව විශේෂ බලකායේ, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිෂ්ශංක ඊරියගම සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ප්‍රසාද් රන්දුනු සමඟින් පෙළපාලි අණදෙන නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව විසිර යෑමේ පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා කැටුව යනු ලැබිණි. ඉන් අනතුරුව, එතුමන් විසින් පෙළපාලිය නිරීක්‍ෂණය කළ අතර විසිර යන විශේෂ බලකා සාමාජිකයින් විසින් උත්සවයේ ප්‍රධාන ආරධිත අමුත්තා වෙත ගෞරවාචාරය පුද කරනු ලැබිණි.

ඉන් අනතුරුව,පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් වෙත පලඳවන විශේෂ බලකා ලාංඡන ගුවනින් රැගෙන එන ලද අතර, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් වෙත විශේෂ බලකා ලාංඡන වර්ණ පැළඳවීම සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ මේජර් ජෙනරල් සෙනරත් යාපා දෙපළ සහ බ්‍රිගේඩියර් විපුල ඉහලගේ ද එක්වූහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පාඨමාලා අංක 50 හී දක්‍ෂතම සෙබළුන්ට සම්මාන හා සහතිකපත් පිරීනැමීමේ අවස්ථාවට සහභාගී විය.එහිදී, පාඨමාලාවේ සෑම අතින්ම අතිශුර සිසුවා සහ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සිසුවා ලෙස ලුතිතන් ටී.එම්.ටී.ජී.එන්.එම්. තෙන්නකෝන්සහ පාඨමාලාවේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ලාන්ස් කෝප්‍රල් ඒ.ජී. අළුත්ගෙදර අත්පොලසන් මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් අතින් කුසලාන සහ සහතිකපත් ලබාගත්හ.

මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කෙටි දේශනයක් පවත්වමින්, විසිරයන සෙබළුන්ගේ පුහුණුවේ වැදගත්කම පිළිබඳව සිහිපත් කළ අතර, මෙම අවස්ථාව වෙනුවෙන් එතුමන්ට ආරාධනා කිරීම පිළිබඳව ද එම රෙජිමේන්තුව වෙත සිය ස්තූතිය ද පුදකරනු ලැබිණි. තවද, විශේෂ බලකායේ ඉතිහාසය පිළිබඳ විස්තර කළ යුද්ධ හමුදාධිපතිතුමන් මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සිදුකළ අසමසම දායකත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය ද ඔවුන් වෙත පිරිනමනු ලැබිණි. ඉන් අනතුරුව, යුද්ධයෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළඅතර විශේෂ බලකාය වෙත මෙම විසිර යන වීරෝදාර රණවිරුවන් ඇතුළත් කල දෙමව්පියන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් ද පැසසුමට ලක් කළේය. මීට අමතරව, ත්‍රිවිධ හමුදාවන්ට සහ එම හමුදාවන්හී පැවැත්ම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් දක්වන සහයෝගය පිළිබඳව ද එතුමන් ආවර්ජනය කළේය. තවද,නිලධාරියෙකු, සෙබළෙකු වශයෙන්විශේෂ බලකායට සම්බන්ධවීමේ ගෞරවය හා අභිමානය පෙන්වා දුන්නේය.

මෙහිදී පැමිණ සිටි සියලුදෙනා විනෝදාස්වාදයට පත් කරමින් විශේෂ බලකා සෙබළුන් විසින් ඉදිරිපත් කල පැරෂුට් සංදර්ශනය, ගුවන් කරනම්, තූර්ය වාදන සංදර්ශනය, යතුරුපැදි සටන් සන්දර්ශන, විශේෂ බලකා කුසලතා ප්‍රදර්ශන, ටයිකොන්ඩෝ සංදර්ශනය, නාගරික සටන් සංදර්ශන හා විශේෂ බලකා රණකාමිත්වය විදහාපාන නගරබද සටන් සංදර්ශනයත් සමඟ මෙම උත්සව කටයුතු නිමාවට පත්විය.පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්පාඨමාලාව සාර්ථකව අවසන් කල සෙබළුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, විසිර යෑමේ පෙළපාලිය වෙනුවෙන් සපැමිණි ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ පුහුණු පාසලේ නිලධාරින් සමඟින්තේ පැන් සංග්‍රහයකට එක්වන ලදී.

අනතුරුව, විශේෂ බළකා පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ අනුස්මර‍ණ එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානය (Outdoor Gymnasium) විවෘත කිරීමට ද යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරනු ලැබීය. තවද, මෙම විශේෂ බලකායේ සොල්දාදුවන් සඳහා වූ සුවිශේෂී පුහුණු ක්‍රමවේදයන් සිදුකළ ප්‍රදේශ සහ දිවි ගලවාගැනීමේ පුහුණුවීම් සිදුකිරීම් ප්‍රදේශ නිරීක්‍ෂණය කිරීමට ද එක් වූ එතුමන් මෙම උත්සවයට සහභාගී වීම සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘මූන මල්’ පැළයක් රෝපණය කිරීමට ද සහභාගී විය. එසේම, එම පාඨමාලාව හැදෑරූ සිසුන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් එම සිසුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම සැළකිලිමත් විය යුතු අනෙකුත් කරුණු පිළිබඳව ද ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.

පසුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,විශේෂ බලකා පාඨමාලා අංක 50 හි සුවිශේෂිත්වය, විශේෂ බලකාය අනෙකුත් හමුදා සාමාජිකයින් අතරින් සුවිශේෂී වීමට හේතු සහ එම බලකාය වෙත අද සිට හඳුන්වාදෙනු ලැබූ නවනිළ ඇඳුම පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබිණි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳමාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් එතුමන්, අතිගරුජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අවශ්‍ය සියලු පරීක්‍ෂණ තවමත් සිදු වෙමින් පවතින බවත්, රටේ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියළු ආරක්‍ෂක පියවරයන්ගනු ලබමින්පවතින බව මෙන්ම ඒ වෙනුවෙන් යුද්ධ හමුදාව අනෙකුත් වගකිවයුතු ආයතන සමඟ සම්බන්ධතාවයෙන් රාජකාරි කරමින් සිටින බවත්ප්‍රකාශ කරනු ලැබීය.

පොලිසිය සමඟ එක්වකඩිනමින් ශ්‍රී ලංකා භූමියෙන් මත්ද්‍රව්‍ය සහ මත්කුඩු තුරන් කිරීමට හැකි සෑම පියවරක්ම ගනු ලබන බවත්එම මෙහෙයුම් වෙනුවෙන් යුද්ධ හමුදාව උපරිම සහාය ලබා දෙන බවත් එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ආරාධිතයින් මෙන්ම දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. buy footwear | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4