Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2022 17:31:50 Hours

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතියට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් සහභාගීත්වයෙන් වැඩසටහන් රැසක්

2022 සැප්තැම්බර් මස 17 දින සිට 25 දින දක්වා යෙදී තිබූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් සිදුකරනු ලැබූහ.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 513 වන බලසේනාවට අනුයුක්ත 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නගර සභාවේ සාමාජිකයින් සහ තවත් සිවිල් වැසියන්ගේ සහයෝගය මත කරෙයිනගර් වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

එසේම, ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 සහ 682 වන බලසේනාවන් යටතේ රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් චලෙයි සහ වේලායි ප්‍රදේශයන්හි වෙරළ තීරය පවිත්‍ර කරනු ලැබූහ.

එම ප්‍රදේශයන්හී සේවයේ නියුතු ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම සියලුම වැඩසටහන් ක්‍රියාත්මක විය.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන සේනාංකයන්හි භටපිරිස් බටහිර සහ දකුණු වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා සිය ශ්‍රමයකත්වය ලබා දුන්හ.

මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව පසුගිය සෙනසුරාදා (24) දින කාත්තන්කුඩි සිට මඩකලපුව ප්‍රදේශය දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කරනු ලැබූහ.

23 වන සේනාංකයේ සේනාංකාධිපති හා 231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් වයි.එම්.ඒ.බී යාපා ගේ අධීක්‍ෂණය මත කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව එම ඒකකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මේ අතර, ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ සතිය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (23) දින මීගමුව සිට පොරුතොට ප්‍රදේශය දක්වා වූ කිලෝමීටර් 3 ක පමණ දුර ප්‍රමාණයක් සහිත වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සිය දායකත්වය ලබාදෙනු ලැබූහ.

තවද, මෙම වැඩසටහන සඳහා 141 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ භටපිරිස් සමගින් මීගමුව මහනගර සභාවේ සහ වෙරළ සංරක්‍ෂණ අධිකාරියේ කාර්ය මණ්ඩලය ද ස්වේච්ඡාවෙන්ම සිය දායකත්වය ලබාදෙන ලදී.