Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2022 06:40:14 Hours

කූරගල විහාරස්ථානයේ පුනර්ජීවය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පූජා වස්තු තැන්පත් කෙරේ

යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ කැපවීම මත දිගුකලක් පුරාවට කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැතිව ගරාවැටෙමින් පැවති බළංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි කූරගල ලෙන් විහාරය ලෙස ප්‍රචලිත පූරගල ලෙන් විහාරස්ථානයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පනගැන්වීය.

බලංගොඩ හෝමෝ සේපියන්ස් ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවත එන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේ පුරාවිද්‍යා භූමිය සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘතිය යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම සහ විශේෂඥතාවය මත සාක්‍ෂාත් කරගැනීමට හැකිවිය.

කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට මාස 8 කට පමණ පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිදුකළ ආරාධනයකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ. පසුගිය සෙනසුරාදා (15) දින සන්ධ්‍යාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ වැඩමවීමෙන් පැවති පිරිත් සජ්ඣායනාවෙන් මෙම පුණ්‍ය උත්සවයේ සමාරම්භය සනිටුහන් විය.

ඉන් අනතුරුව, සාම්ප්‍රදායික බෙර වාදකයින් සියගණනකගේ වාදනයන් මධ්‍යයේ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සුජීවා නෙල්සන් මැතිණිය සමඟ එක්ව විහාරාධිපති හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙම පෞරාණික චෛත්‍ය ගර්භයේ දාගැබක අනුරුවක්, විසිතුරු භාණ්ඩ, පඬුරු සහ නිදන් වස්තු තැන්පත් කළහ. මෙම අවස්ථාව තවත් වර්ණවත් කරමින් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මඟින් ගුවනින් පුෂ්ප වර්ෂා පූජාවක් සිදුකරන ලදී.

ඉන් අනතුරුව, මෙම බෞද්ධාගමික වැඩසටහන වර්ණවත් කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන මහනායක හිමිපාණන්, ශ්‍රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමලනායක හිමිපාණන්, අමරපුර නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහනායක හිමිපාණන්, මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමිපාණන් සහ රංගිරි දඹුලු විහාරස්ථානයේ විහාරාධිපති ඉනාමළුවේ සුමංගල නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ‘දහම් හමුව’ ආරම්භ කරන ලදී.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මැතිතුමන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර ගරු ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මැතිතුමන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමන්, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතගම මැතිණිය, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගි වූහ.

මෙම අවස්ථාවේදී, මහා සංඝරත්නය නියෝජනය කර අනුශාසනාවක් පවත්වමින් කූරගල විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන මෙම පුදබිමේ වැදගත්කම, එම පුණ්‍ය භූමියේ පිහිටි ගල් ලෙන් සහිත පුරාණ බෞද්ධ ආරාමයක නටඹුන් සහිත මුල් මානව ජනාවාසයන්හී ඉතිහාසය පිළිබඳ පැහැදිලි කළේය.

මෙම විහාරස්ථානය තුළ භාවනානුයෝගී භික්‍ෂුන් වහන්සේලා වැඩසිටි බවටත් ඒ අතරින් බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කිහිපනමක් විදේශයන්හී සිට වැඩමවා වදාළ හිමිවරුන් ලෙසටත් විශ්වාස කෙරේ.

මෙම පූජා වස්තු තැන්පත් කිරීමේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය ද එක් විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ආගමික උත්සව අවස්ථාව අමතමින් ගරාවැටෙමින් පැවති මෙම පුදබිම කූරගල විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිය ගණනක යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දිවා රෑ නොබලා ලබාදුන් සුවිශේෂි දායකත්වය මත බෞද්ධ ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීමට ඉඩහසර සැලසුනු බව සිහිපත් කළේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදය මත රාජ්‍ය වෙසක් උත්සවය මෙම පුදබිම තුළ පැවැත්වීම තුලින් ආගම දහම පිළිබඳ වන අපගේ කැපවීම මැනවින් පිළිබිඹු කෙරේ. සියලු ආගම් කෙරෙහි යුද්ධ හමුදා භටපිරිස් සිය අඛණ්ඩ දායකත්වය දක්වන බවත් මෙම ප්‍රයත්නය වෙනුවෙන් සියලු බැතිමතුන්ගේ දායකත්වය ලබාදෙන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් එහිදි රැස්ව සිටි පිරිස අමතමින් තවදුරටත් ප්‍රකාශ කළේය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.