Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2017 09:46:21 Hours

කිරිවෙහෙර පුදබිමේ දී සහ කතරගම දෙවොලේ දී 68 වන හමුදා දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර දාගැබ අභියස දී හා කතරගම දේවාල පරිශ්‍රයේ දී සිකුරාදා (06) පස්වරුවේ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ඇතුළු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගීත්වයෙන් හමුදා ධජයන් සිය ගණනක් පෙරටු කරගනිමින් පවත්වන ලදී.

යුද්ධ හමුදා ධඡය, ස්වේච්ඡා බලසේනා ධඡය, සියලු ආරක්ෂක සේනා මූලස්ථාන ධඡයන්, සේනාංක, බලසේනා, රෙජිමේන්තු, පුහුණු පාසල් හා ඒකකයන්ට අයත් ධජයන් රැගෙන යුද්ධ හමුදා සාමාජිකයින් හේවිසි පූජා මධ්‍යයේ කතරගම කිරිවෙහෙර තෙවරක් පැදකුණු කළ අතර, අනතුරුව විශේෂ කප්රුක් පූජාවක්, පොල්තෙල් පහන් 1500 ක් දල්වමින් ආලෝක පුජාවක් සහ ගිලන් පස පුජාව ඇතුළු ආගමික වතාවත් ඉටුකරමින් හමුදා ධජයන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පැතීය.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මහා සංඝරත්නය වෙත පිරිකර පූජා කළ අතර, කිරිවෙහෙර රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් කතරගම අෂ්ඨඵල බෝධි භාරකාර කිරිවෙහෙර රජමහා විහාරාධිකාරි පූජ්‍ය තලගල ඥානේන්ද්‍ර ස්වාමින් වහන්සේ වෙත පිළිගැන්විය. කතරගම දේවාලයේ දී යුද්ධ හමුදා ධජයන්ට ආශිර්වාද කිරීමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමා විසින් මහසෙන් දේවාලයට සුදු නෙළුම් මල් පූජා කරන ලදී.

යුද්ධ හමුදා ධජ රැගෙනයන්නන් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර පුජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදි. අනතුරුව අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියස දී ආගමික වතාවත් සිදු කළ අතර, යුද්ධ හමුදාපති විසින් අටපිරිකර පූජා කිරීම ද එහිදි සිදු කෙරිනි.

අනතුරුව, යුද්ධ හමුදා ධජයන් දේවාල කුටියේ තැන්පත් කිරීමෙන් පසු සමන් ප්‍රියන්ත මුණසිංහ කපුමහතා විසින් දේවාලයේ තේවාව ආරම්භ ආරම්භ කරන ලදි. එමෙන්ම යුද්ධ හමුදාපතිතුමා විසින් කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා ද තවත් මුදල් පරිත්‍යාගයක් බස්නායක නිලමේ ඩි.පි. කුමාරගේ මහතා වෙත පිරිනමනු ලැබීය.

දේවාල භූමියේ මුරුතැන් පූජාව පැවැත්වීමෙන් පසුව සම්ප්‍රදායානුකූල චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ප්‍රධාන දේවාල භූමිය ඉදිරිපිට දී යුද්ධ හමුදාපතිතුමන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පොල් ගැසීමේ චාරිත්‍රය සිදු කරන ලදී.

බුදුන් වහන්සේගේ තෙවන ලංකා ගමනයේ දි කතරගම පුද බිමෙහි විවේක සුවයෙන් ගත කළ බව සඳහන් වන අතර, උන්වහන්සේ සර්වඥ ධාතූන් වහන්සේලා මෙම කිරිවෙහෙර වහන්සේ තුල නිදන් කොට ඇති බව ද ඉතිහාසයේ සඳහන්ව තිබේ. බුද්ධ වර්ෂ 3 වන සියවසේ මහාසෙන් නරපතියන් මෙම කිරිවෙහෙර චෛත්‍යයන් වහන්සේ ඉදි කළ බවට විශ්වාස කෙරේ.

Nike Sneakers | Men's Footwear