Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd April 2021 08:02:39 Hours

කාලතුවක්කු හමුදා සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 133 වන සංවත්සරයට සමගාමීව පැවති රණවිරු සැමරුම් උත්සවය බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි වූයේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිමන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමිය.

ප්‍රථමයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළේය. පසුව, ජාතික ගිය සහ රෙජිමේන්තු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා රණවිරු සැමරුම් උත්සවය ආරම්භ කරන ලදී.

මෙම රණවිරු සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, මේජර් ජෙනරල් එස්.ඩි. තෙන්නකොන් (විශ්‍රාමික) ඇතුළු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීන්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසල් සේනාවිධායකවරුන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහභාගි වුහ. මෙම රණවිරු සැමරුම් උත්සවය අතරතුරදී පැවැති කාලතුවක්කු ආචාර වෙඩිමුර උත්සවයට තවත් විශේෂත්වයක් එක් කළේය.

මෙම අවස්ථාවට සපැමිණි කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ට සුභපැතුම් එක් කළේය. අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කර ඉන් පසුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කළහ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවති මෙම රණවිරු සැමරුම් උත්සවය සඳහා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගි වූහ.