Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th November 2022 21:45:37 Hours

කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කටයුතු කළ ආබාධිත කාන්තාවකට 541 වන බලසේනාවෙන් මුළුතැන්ගෙයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අයත් 541 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය මානුෂීයත්වය පිළිබිඹු කරමින් මන්නාරම, මුන්ඩම්පිඩ්ඩි ප්‍රදේශයේ ජීවත්වන ආබාධිතව සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව මුළුතැන්ගෙය පසුගිය ඉරිදා (27) දින ඇය වෙත භාරදෙනු ලැබීය.

එම කාන්තාවගේ දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ පරිත්‍යාගශීලී භටපිරිස් එක්ව සිය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මෙන්ම ඔවුන්ගේ මූල්‍යමය දායකත්වයද ලබාදෙමින් මෙම මුළුතැන්ගෙය ඉදිකිරීම් කටයුතු සිදුකර දෙනු ලැබූහ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් රට දෙකඩ කිරීමේ ප්‍රයත්නය වෙනුවෙන් සිදුකළ සටනේ උච්චතම අවස්ථාව වන විට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් වූ රාජගන් මේරි ජූඩ් රාජි මහත්මිය (Mrs Rajagan Meri Jude Raji) ආබාධයකට ලක්වූ අතර එතැන් සිට ඇය ආර්ථික දුෂ්කරතා හමුවේ දැඩි අපහසුතාවයන්ට එළඹෙමින් දුෂ්කර ජීවිතයක් ගතකළාය.

541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහගේ මගපෙන්වීම හා 12 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ.එස්. අමරතුංග ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස්හී දායකත්වයෙන් මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් පැවති කෙටි උත්සව අවස්ථාව 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් වඩාත් වර්ණවත් විය.

නව මුළුතැන්ගෙය ප්‍රතිලාභී කාන්තාව වෙත භාරදීමේ අවස්ථාවේදී, ඇය වෙත වියළි ආහාර සලාක පාර්සල් කිහිපයක් මෙන්ම එම ප්‍රදේශයේම වෙසෙන තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ සේවියර් ඇන්ටනි සිල්වෙස්ටර් (Mr Seviyar Antony Sylvester) වෙත ද තවත් වියළි ආහාර සලාක පාර්සලයක් ද පරිත්‍යාග කරනු ලැබීය.