Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2023 14:38:12 Hours

කමාන්ඩෝ රෙජිමේන්තුවට නව කමාන්ඩෝ භටයින් 265 දෙනෙකු සහ දිගදුර විහිදුම් භටයින් 85 දෙනෙක් එක්වෙති

දුෂ්කර හා අභියෝගාත්මක පුහුණුවකින් පසු ‘මෙරූන් හිස්වැසුම්’ පැළඳූ කමාන්ඩෝ භටයින් 265 දෙනෙකු සහ ‘දිගුදුර විහිදුම්’ මෙහෙයුම් සඳහා වෙහෙසකර පුහුණුවක් ලැබූ යුද්ධ හමුදා සාමාජිකයන් 85 දෙනෙකුගේ විසිර යෑමේ උත්සවය බදාදා (මාර්තු මස 15) දින කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූවේය. අත්දැකීම්වලින් බහුල ප්‍රවීණයන් සහ උපදේශකවරුන් ලබාදුන් ගුරුහරුකම් මධ්‍යයේ අද්විතීය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් මෙම උත්සවයේදී අංක 51 ඒ, බී, සී සහ ඩී පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ නිලධාරින් 4 දෙනෙක් හා භටපිරිස් 261 දෙනෙක් මෙන්ම ‘දිගුදුර විහිදුම්’ පුහුණු පාඨමාලා අංක - 17 සාර්ථකව හැදෑරූ නිලධාරින් 5 දෙනෙක් සහ සෙබළුන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිර ගියහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කමාන්ඩෝ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සමඟින් කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ. ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් යූ.එස්.බී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් එතුමන් උත්සව පරිශ්‍රය වෙත උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

සම්මාන පෙළපාලියේ අණදෙන නිලධාරිගේ ආරාධනයකට අනුව විසිරයන කමාන්ඩෝ භටයින්ගෙන් සැදුම්ලත් සම්මාන පෙළපාලිය නිරික්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් වෙත කමාන්ඩෝ භටයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ. පසුව, දුෂ්කර වූ විශේෂිත පුහුණුවක් හදාරා විශිෂ්ඨයන් අතර විශිෂ්ඨයෙකු වෙමින් දේශයේත්, ජාතියේත් වගකීම් ඉටුකිරීමට ‘නොහැක්කක් නොමැත’ යන ආදර්ශ පාඨය පෙරදැරීව කමාන්ඩෝ රෙජිමේන්තුව සමඟ එක්වු අභීත පුතණුවන්ට කමාන්ඩෝ ලාංඡනය ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ළඟම ඥාතීන්ගේ සුරතින් පැළඳවූහ.

පුරා මාස 18 ක කාලයක් පැවති කමාන්ඩෝ පුහුණු පාඨමාලාවේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ කමාන්ඩෝ භටයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීම ඉන් අනතුරුව සිදුවිය.

උත්සව සභාව ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් විසිර යන කමාන්ඩෝ භටයින් වෙත සිය සුභාශිංසන පිරිනැමුවේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, උපදේශකවරුන් සහ විසිර යන කමාන්ඩෝ භටයින් සමඟින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වූහ.

එම උත්සවයේ සමාප්තියත් සමඟින් කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පිහිටි ශ්‍රී ලංකා යුද්ද හමුදා පැරෂුට් පතිත කලාපයේදී පැවති ‘දිගුදුර විහිදුම්’ පුහුණු පාඨමාලාවේ විසිරයෑමේ පෙළපාලිය ආරම්භ කෙරිණි. මෙම උත්සව අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ අභිමානවත් 43 වන සංවත්සර දිනයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සාමාජිකයින් වෙත විශේෂ සම්මාන කිහිපයක් ද පිරිනැමීය.

මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් එක්කරමින් කමාන්ඩෝ සෙබළුන් ඔවුන්ගේ කමාන්ඩෝ යුද පුහුණු හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය කරමින් විශේෂ සජිවි සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ.

එහිදී, කමාන්ඩෝ භටපිරිස් සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉලක්කගත කිරීම්, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම, ප්‍රතිත්‍රස්ථ සටන්, කේ - 9 සුනඛ සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසක් ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට සහභාගිවුවන් විශ්මයට පත් කළහ.

මෙම විසිරයෑමේ පෙළපාලිය නැරඹීම සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ද සහභාගී වූහ.

පුහුණු පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සාමාජිකයන් පහතින් දැක්වේ:

කමාන්ඩෝ පාඨමාලාව - 51

අතිශූර කමාන්ඩෝ සෙබලා - පාඨමාලා අංක බී 51 හි දෙවන ලුතිනන් එල්.පී.ආර්. පියුමික

හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලා - පාඨමාලා අංක බී 51 හි සාමාන්‍ය සෙබල ඩී.ඒ.ජී.ඒ.ඩී. කුමාර

දක්‍ෂතම වෙඩික්කරු - පාඨමාලා අංක බී 51 හි සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ඒ.ඩී.පී. වික්‍රමආරච්චි

දිගුදුර විහිදුම් පුහුණු පාඨමාලා අංක - 17

අතිශූර දිගුදුර මුර සංචාර සෙබලා - ලුතිනන් සී.එල්. ජයතුංග

හොඳම මංපෙත් සොයන්නා - සාමාන්‍ය සෙබල ඩී.එම්.ජේ. කුමාරසිංහ

හොදම දිගුදුර මුර සංචාර 8 දෙනාගේ කණ්ඩය - පාඨමාලා අංක බී 103 හි ලුතිනන් ඩබ්ලිව්.එම්.එල්.ඩී. විජේසූරිය

43 වන සංවත්සර දින විශේෂ සම්මාන හිමිකරගත් කමාන්ඩෝ සාමාජිකයන්

අතිශූර කමාන්ඩෝ සෙබලා – 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඒ.වී ගාල්ලගේ

කමාන්ඩෝ රෙජිමේන්තු නාමය ඉහළ නැංවීම සඳහා කැපවූ කමාන්ඩෝ භඨයා - 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ බළලත් නිලධාරි අයි.බී.එම්.ආර්.ආර්. බන්නැහැක

අන්තර් බලඇණි තරඟාවලියේ ශූරතාවය - 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව

අන්තර් බලඇණි තරඟාවලියේ අනු ශූරතාවය - 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුව

කමාන්ඩෝ රෙජිමේන්තු නාමය ඉහළ නැංවීමට කැපවූ කමාන්ඩෝ බලඇණිය - 1 වන කමාන්ඩෝ රෙජිමේන්තුව