Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2022 19:12:47 Hours

එක්සත් ජනපදයේ පදිංචි ශ්‍රී ලාංකීකයෙකු කොළඹ යුද්ධ හමුදා රෝහලට දැඩි සත්කාර ඇඳන් පරිත්‍යාග කරයි

දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිං අනුමෝදන් කිරීමේ අරමුණින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු වන කේමින්ද ජයවර්ධන මහතා විසින් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රයෝජනය සඳහා දැඩි සත්කාර ඇඳන් 4 ක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන ලදී.

විදේශගත ශ්‍රී ලාංකීකයෙකු වන කේමින්ද ජයවර්ධන මහතා අද (12) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී ඇමරිකානු ඩොලර් 2000 ක පමණ වටිනාකමකින් යුත් මෙම ඇඳන් 4 සංකේතාත්මකව භාරදුන්නේය.

දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිං අනුමෝදන් කිරීමේ අරමුණින් සිදුකරනු ලැබූ මෙම පරිත්‍යාගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් කේමින්ද ජයවර්ධන මහතා වෙත සිය කෘතඥතාවය පුදකරමින් සමරු තිළිණයක් ද එහිදි ප්‍රදානය කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් සිය පාසල් මිතුරෙකු වු දිවංගත බ්‍රිගේඩියර් සුදත් උදයසේන වෙත පිංඅනුමෝදන් කරමින් සිදුකරනු ලැබු මෙම පරිත්‍යාග වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුව සඳහා යුද්ධ හමුදා සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චම්පික අත්තනායක ද එක්වූහ.