Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th January 2021 10:34:18 Hours

ඉන්දියානු රජයෙන් මෙරටට පරිත්‍යාග කරනු ලැබූ කොවිඩ් - 19 එන්නත් තොගය අතිගරු ජනාධිපතිතුමන් විසින් පිළිගනී

ඉන්දීය රජය විසින් ප්‍රදානය කළ කොවිඩ් මර්ධන එන්නත් පළමු තොගය ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) දින පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීම, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහ වෛරසයේ අවදානමට ලක්විය හැකි පිරිස් නිරෝධායනය කිරීම සහ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ඉදිරිපෙළ ක්‍රියාකරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය සේවකයින් වෙත එන්නත පළමුව ලබාදීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරත සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් භාවිතා කිරීම සඳහා මෙම එන්නත ලබාදෙන මෙන් මීට දින කිහිපයකට ප්‍රථම අතිගරු ජනාධිපතිතුමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙතින් පෞද්ගලිකව කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය විසින් ‘ඇස්ට්‍රාෂෙන්කා කොවිඩ්ෂීල්ඩ්’ (AstraZeneca Covidshield) එන්නත් තොගය ලබාදුන්නේය.

ඒ අනුව ‘පළමුව අසල්වැසියා’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවේ ප්‍රධාන රසායනාගාරය හරහා නිෂ්පාදනය කරන ලද එන්නත් 500,000 ක ප්‍රමාණයක් අද (28) උදෑසන A1 281 නම් එයාර් ඉන්දියා ගුවන් යානය මගින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබීය.

මෙම එන්නත් තොගය ගුවන්තොටුපල වෙත පැමිණීමෙන් අනතුරුව ඉන්දියානු මහ කොමසාරිස්වරයා විසින් සංකේතාත්මකව එහි සාම්පල කිහිපයක් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත පිළීගැන්වීය. පසුව, එතුමන් විසින් එම තොගය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ වෙත භාරදෙන ලදී.

ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන, විදේශ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොලඹගේ, කොළඹ ගුවන්තොටුපළේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, සහ තවත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් කිහිප දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නිර්දේශය මත නිෂ්චිත උෂ්ණත්වයන් යටතේ ගබඩා කර ප්‍රථමයෙන් ආසාදිතයින් බහුල ප්‍රදේශ වෙත මෙම එන්නත් රැගෙන යනු ලබන අතර එම ප්‍රවාහන කටයුතු කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ගේ අධීක්‍ෂණය යටතේ සිදුකෙරේ. මෙහි පළමු තොගය වසංගත රෝග විද්‍යා ඒකකයේ අධිශීතකරණ තුල ගබඩා කර යුද්ධ හමුදා භටපිරිස් විසින් නිෂ්චිත ප්‍රදේශවලට ඉදිරි පැය 72 තුළ රැගෙන යනු ලබන අතර ප්‍රමුඛතා පදනම මත සෞඛ්‍ය සේවකයින්, යුද්ධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින් සහ පොලිස් නිලධාරින් අතර බෙදාහැරීමට සැලසුම් කර ඇත.

මෙහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින්, “එක් පුද්ගලයෙකු වෙනුවෙන් මාත්‍රා දෙකකින් එන්නත් කරන ලද මෙම ‘කොවිඩ්ෂීල්ඩ්’ එන්නත කොළඹ ජාතික රෝහල, රාගම රෝහල, කොළඹ යුද්ධ හමුදා රෝහල සහ පනාගොඩ යුද්ධ හමුදා රෝහල ඇතුළු තවත් රෝහල් හයකදී හෙට (29) දින එන්නත් කිරීම ආරම්භ කරන බව ප්‍රකාශ කළේය. අනිද්දා සිට එය සැලසුම් කර ඇති පරිදි අනෙකුත් ප්‍රදේශවලට සහ සියලුම හමුදා රෝහල් වෙත ගෙන යනු ලබයි. ඇත්ත වශයෙන්ම, අද වනවිට මෙම එන්නත ප්‍රවාහනය, ගබඩා කිරීම, එන්නත් කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා පෙරහුරු වට කිහිපයක් ද අප සිදුකරනු ලැබුවා. මේ වනවිට මෙම එන්නත ලැයිස්තුගත කර ඇති අයවළුන්ට පමණක් සීමා කර ඇති අතර සමස්ත වැඩසටහනම විනිවිදභාවයෙන් යුක්ත වනු ඇත. මීට අමතරව, අතිගරු ජනාධිපතිතුමන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් සිදුකර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉදිරි සති කිහිපය තුළ රුසියාව සහ චීනය වැනි රටවල්ද එම එන්නත් මෙරටට ලබාදීමට ඉදිරිපත් වී ඇති බව” ප්‍රකාශ කළේය.

මෙම උත්සවය සංකේතවත් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ සිහිවටනයක් ද අතිගරු ජනාධිපතිතුමා වෙත පිරිනමන ලදී. Authentic Nike Sneakers | Releases Nike Shoes