Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2021 12:58:03 Hours

ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගැනේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී බදාදා (13) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එතුමන් හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානය වෙත පිළගනු ලැබීය.  

දෙරට අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා සහ අවබෝධය මත පදනම්ව පවතින මිත්‍ර සබඳතා සහ හමුදා සහයෝගිතාවන් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාම සාධක හමුදාවට අනුයුක්තව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවාවක් කළ නිලධාරියෙකු වන ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන වෙත යුද්ධ හමුදා භටපිරිස් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාර සහ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකරමින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පිළිගෙන ප්‍රධාන අචාර පීඨීකාව වෙත කැටුව යන ලදී. අනතුරුව, පෙලපාලි අණදෙන නිලධාරි විසින් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත සරඹ පෙලපාලිය නිරීක්‍ෂණය කරන ලෙස ආරාධනා කළේය. පසුව යුද්ධ හමුදා භටපිරිස් විසින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉන්දීයානු යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන උණුසුම් අයුරින් පිළිගෙන යුද්ධ හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියසදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුලු ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත හදුන්වා දෙනු ලැබීය.

ඉන් අනතුරුව, ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවති සුහඳ හමුව අතරතුර දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශවික බැදීම් සිහිපත් කළේය. එහිදි, වර්ෂ 1987 දී එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව දියත්කරනු ලැබු මානූෂීය මෙ‍හෙයුම් කාලසීමාව තුළ ඉන්දියානු සාමසාධක බලකායට අනුයුක්තව අණදෙන නිලධාරියෙකු වශයෙන් යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ වන්නි ප්‍රදේශයේ තිබු දරුණු එල්ටීටීඊ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාකළ ආකාරය පිළිබද මතකයන් සිහිපත් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව අතරතුර දෙරට අතර පවතින වර්තමාන ගැටළු පිළිබද අදහස් හුවමාරු කරගනිමින් වැදගත් තොරතුරු හුවමාරු කරගැනීම තුළින් දෙරට අතර සබඳතාවයන් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාවය පිළිබද කරුණු අවධාරණය කළහ.

එහිදි, ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි විසින් සයිබර් ප්‍රහාර ඇතුළු විවිධ ආකාරයෙන් ඇතිවිය හැකි තර්ජනයන් පිළිබඳව දෙරට හමුදාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවීකරණය කිරීමේ වැදගත්කම පිළිබදව ද කරුණු අවධාරණය කළේය.

අනතුරුව, අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික යුද පුහුණු අභ්‍යාස සහ පුහුණු මොඩියුලයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයන් සහභාගී කරවීම වෙනුවෙන් ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි වෙත සිය ස්තූතිය පුද කළහ.

තවද, මෙම හමුවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඉන්දියානු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය පිළිබඳව ද සාකච්ඡාවට බදුන් වූහ.

සංචාරයේ නිරත ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි දෙරට අතර ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන බවත් නුදුරු අනාගතයේ දී එම සීමාවන් පුළුල් කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවට ද දෙරටේ යුද්ධ හමුදාපතිවරුන් මෙහිදි එකඟතාවය පළ කළහ.

තවද, ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ශ්‍රී ලංකාව සමඟ පවතින මිත්‍රශීලී ආරක්‍ෂක සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය හමුදාවේ තාක්‍ෂණික සහය නිරන්තරයෙන් ලබාදෙන බවත් මෙහිදි ප්‍රකාශ කළේය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති හමුව අවසානයේ දෙරටේ යුද්ධ හමුදාධිපතිවරුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවූ අතර, යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ සමරු සටහන් පොතේ සහනක් ද තැබුවේය.

ඉන් අනතුරුව, සංචාරයේ නිරත ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් ආරක්‍ෂක අමාත්‍යංශය වෙත නික්මයාමට ප්‍රථම ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ද සහභාගීත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සම්බන්ධ වූහ.