Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2021 11:52:46 Hours

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි, ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ සුහද හමුවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි, එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා (Rakesh Kumar Singh Bhadauria) ශ්‍රී ලංකාවේ සිව් දින සුහද සංචාරයක නිරත විය. සංචාරයේ නිරත ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අද (04) උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහද පිළිසඳරක නිරත වූයේය.

යුද්ධ හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අභියසදී යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි කර්නල් ඉන්දික පෙරේරා විසින් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමූහ.

පසුව, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ විසින් එතුමන් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදි.

ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් එතුමන්ට හඳුන්වා දුන්නේය. එහිදී, එතුමන් යුද්ධ හමුදාධිපති සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සමඟ නව යුද්ධ හමුදා මූලස්ථානයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා සහ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවති සුහද හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ යහපත් සබඳතා පිළිබඳ සාකච්ඡා කරන ලදී. ඉන් අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ ගුවන් ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව සහ අඛණ්ඩ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කිරීමේ හැකියාවන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකළහ. එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා PVSM AVSM VM ADC 2019 සැප්තැම්බර් 30 දින ඉන්දියානු ගුවන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රධානී ලෙස වැඩ භාරගත්තේය. ඉන්දියානු ජාතික ආරක්‍ෂක ඇකඩමියේ පුහුණුව ලැබූ සුවිශේෂි නිලධාරියෙකු වන ඔහු ගුවන් දක්‍ෂතම හමුදා නිලධාරියා වශයෙන් සම්මාන ලබමින් හමුදා ඇකඩමියෙන් උපාධිය ලබා ගත් අතර 1980 ජුනි 15 වන දින ගුවන් හමුදාවේ ප්‍රහාරක බලඝණයේ නිලධාරියෙකු ලෙස අධිකාරියට පත්කරන ලදී.

එතුමන් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භදූරියා ප්‍රහාරක ගුවන් යානා සහ ප්‍රවාහන ගුවන් යානා 42 ක නියමු අත්දැකීම් සහ පියාසර පැය 4270 ක අත්දැකීම් ඇති පර්යේෂණාත්මක නියමුවෙකු හා Cat ‘ඒ’ ශ්‍රේණියේ සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු ලෙස සුවිශේෂී ගෞරවයකට පාත්‍ර වූවෙකි. ඔහු බංගලාදේශයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.

එතුමන්, දශක හතරකට ආසන්න කාලයක් පුරා ඉන්දියානු ගුවන් හමුදාවට විශිෂ්ඨ සේවයක් ලබාදී ඇති අතර, ජගුවාර් බලඝණයේ අණදෙන නිලධාරියෙකු ලෙසත්, නිරිතදිග ප්‍රමුඛ ගුවන් හමුදා කඳවුරක අණදෙන නිලධාරී, ගුවන් යානා හා පද්ධති පරීක්‍ෂණ බලඝණයේ ගුවන් යානා පද්ධති පිරික්සුම් ආයතනයේ අණදෙන නිලධාරි සහ ප්‍රධාන පරික්‍ෂණ නියමුවා මෙන්ම ‘තේජාස්’ සැහැල්ලු සටන් ගුවන් යානා ව්‍යාපෘතිය පිළිබඳ ජාතික පියාසැරි පරීක්‍ෂණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කර ඇති අතර හෙතෙම සැහැල්ලු සටන් ගුවන් යානාවන් වල මූලික මූලාකෘති පියාසැරි පරීක්‍ෂණ සඳහා පුළුල් ලෙස සම්බන්ධ වී ඇත. ඔහු ගුවන් හමුදා මූලස්ථානයේ සහකාර මාණ්ඩලික ප්‍රධානී, ව්‍යාපෘති සහකාර ප්‍රධානී, ජාතික ආරක්‍ෂක ඇකඩමියේ අණදෙන නිලධාරී, මධ්‍යම ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා ප්‍රධානි, ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, දක්‍ෂිණ ගුවන් ආඥා අණසක ගුවන් හමුදා ප්‍රධානි සහ ගුවන් හමුදා පුහුණු අණසක ආඥාපති ලෙසද එතුමන් ගුවන් හමුදා ප්‍රධානී ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම කටයුතු කර ඇත.

ඔහුගේ විශිෂ්ඨ සේවය අගයමින් එයාර් චීෆ් මාර්ෂල් තනතුරට 2002 වර්ෂයේදී පත්වූ අතර වායු සේනා පදක්කම, 2013 දී අතිවිශිෂ්ඨ සේවා පදක්කම සහ 2018 දී පරම විශිෂ්ඨ සේවා පදක්කම ද එතුමන් වෙත පිරිනමා ඇත. එමෙන්ම, 2019 ජනවාරි 01 දින ඉන්දියාවේ ගරු ජනාධිපතිවරයා ගේ ගුවන් හමුදා අධිසහයක ලෙස ලෙස ද එතුමන් පත් කරන ලදී.

ඔහු ආශා භදූරියා මහත්මිය සමඟ විවාහ වී ඇති අතර ඔවුන් හට සොනාලි නම් දියණියක සහ සෞරව් නම් පුතෙකු ද වේ. latest Running | 『アディダス』に分類された記事一覧