Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2023 21:20:25 Hours

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ක්‍ෂේත්‍ර සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව පල්ලෙකැලේ පිහිටි 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව වෙත ප්‍රථම නිල සංචාරය පසුගිය බදාදා (08) දින සිදු කරන ලදී. එතුමන් මීට වසර 13 කට පමණ පෙර එම ඒකකයේ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරනු ලැබීය. කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම ඒකකයේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් චමිල ලහදසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල වෙත 6 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. එම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ එතුමන් අනතුරුව ඒකක අණදෙන නිළධාරීගේ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද එක් විය.

ඒකක අණදෙන නිලධාරී විසින් මේජර් ජෙනරල් ලංකා අමරපාල වෙත ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය, ඒකකයේ යටිතල පහසුකම් සංවර්ධනය, කඳවුරු ආරක්‍ෂාව, පුහුණු වැඩසටහන්, සෙබළුන්ගේ සුභසාධනය කටයුතු සහ අභියෝගාත්මක අවස්ථාවන්ට මුහුණ දීම යන ආදී කරුණු පිළිබඳව පැහැදිලි කළේය. අනතුරුව එතුමන් සියලුම නිලයින් අමතමින් ඒකකයේ අතීත මතකයන් ආවර්ජනය කල අතර, කැපවීමෙන් යුතුව තම රාජකාරිය මනා ලෙස ඉටුකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

ක්‍ෂේත්‍ර සංචාරය සඳහා කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ප්‍රදීප් සිරිවර්ධන සහ, යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාවේ කර්නල් ව්‍යාපෘති ලුතිනන් කර්නල් සාලිය ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.