Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th November 2022 21:12:53 Hours

ඉංජිනේරු සේනාංකයේ 2 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ අභිමානවත් 2 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාලගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (18) දින වැඩසටහන් මාලාවක් පැවැත්විණි.

මෙම සංවත්සර දිනයට සමගාමීව 2022 නොවැම්බර් මස 16 සහ 17 දෙදින තුළ මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී (Home of Sappers) සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනාවක්, දානමය පිංකමක් සහ ආගමික වතාවත් පවත්වන ලදී.

සාම්ප්‍රදායික නැටුම්කරුවන් සහ බෙර වාදන ශිල්පීන්ගෙන් සැදුම්ලත් පෙරහැරකින් සර්වඥ ධාතු කරඬුව, පිරිවාන පොත්වහන්සේ සමගින් මහා සංඝරත්නය පිරිත් මණ්ඩපය වෙත වැඩමකරවන ලදී. අනතුරුව, සංවත්සරයට අනුගාමිකව පැවැත්වෙන ආගමික වතාවත්වලට මත්තෙන් තිස්වසරක් පුරා පැවැති මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු, රණක්‍ෂිතයට පත් සියලුම වීරෝදාර රණවිරුවන්ට සහ දැනට සේවයේ නියුතු රණවිරුවන් වෙනුවෙන් පිං අනුමෝදන් කරවන ලදී.

සංවත්සර දිනය සනිටුහන් කරමින් මත්තේගොඩ සරඹ භූමියේදී ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞවරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ඉංජිනේරු රෙජිමේන්තුවේ සියලු නිලයන් ඇමතු සේනාංකාධිපතිතුමන් සෙසුනිල භෝජනගාරයේ පැවැති සියලු නිල දිවා භෝජන සංග්‍රහයට ද සහභාගී විය.

මෙම සංවත්සර දින සැමරුම් උත්සව අවස්ථාව සඳහා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.