Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st July 2023 22:09:15 Hours

ආසියානු, පැරිස් සහ ඉන්දියානු මළල ක්‍රීඩා ශූරතාවලියන්හිදී පදක්කම් හිමිකරගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයීමේ සංකේතයන් සහ නිල උසස් වීම් ලබාදෙයි

තායිලන්තයේ බැංකොක් නුවර පසුගියදා පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023, පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023 සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ශූරතා තරඟාවලිය - 2023 යන තරඟාවලීන් සඳහා සහභාගී වී ජාතික හා ජාත්‍යන්තර වාර්තා තබමින් ශ්‍රී ලංකාවට පදක්කම් හිමිකරගෙන පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු වෙත සිකුරාදා (ජූලි මස 21) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් නිල උසස් වීම් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ලබාගන්නා ලද අත්දැකීම පිළිබඳව විමසමින් සුහඳව අදහස් බෙදාගත් අතර, අනතුරුව එතුමන් ඔවුන්ගේ ජයග්‍රහණයන් පිළිබඳව සිය ප්‍රශංසාව පල කළේය.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023, සඳහා සහභාගී වී විශිෂ්ඨ දස්කම් දැක්වූ 2 (සෙව්)ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් එච්.කේ.කේ. කුමාරගේ, 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එස්.ඒ. දර්ශන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්. රාමනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එන්. රාජකරුණා, 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් පී.එම්.පී.එල් රාජකරුණා, 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ජී.ඩී.කේ.කේ. නිකූ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ ඩී.ආර්.එච් කුරේ යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී ඇගයීමේ සංකේතයන් ප්‍රදානය කරන ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ශූරතාවලිය - 2023 සහ පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023 හි දී විශිෂ්ට දස්කම් දැක්වූ 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බළලත් නිලධාරි II ඒ.ජී.එස් අබේවික්‍රම සහ ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ පැරා මලල ක්‍රීඩක මාණ්ඩලික සැරයන් කේ.ඒ.එස් දුලාන් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙතද නිල උසස්වීම් සහ ඇගයීමේ සංකේතයන් ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ කමිටුවේ සභාපති සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ටීසී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, 62 සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.