Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2023 16:45:32 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර , 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්‍ෂණ චාරිකාවක

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිරීක්‍ෂණ චාරිකාවක, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පෙබරවාරි 28 (අඟහරුවාදා) දින නිරත වූයේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල වෙත 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.සී.එම් වීරකෝන් විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල වෙත මේජර් ඩී.එම්.සී.එම් වීරකෝන් සහ මාණ්ඩලික නිලධාරීන් විසින් 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ වගකීම් හා කාර්යභාරයන් පිළිබඳ සවිස්තරාත්මකව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.

අනතුරුව, මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල එම ඒකකයේ නිලධාරීන් සමඟින් කෙටි පිළිසඳරක ද නිරත වූයේය. එහිදී එතුමන් සියලු භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ මනා විනයකින් යුතුව තම රාජකාරීන් නිවැරදිව සිදුකිරීමේ වැදගත්කම පිළිබඳව වැඩි දුරටත් අවධාරණය කළේය. මෙම නිරීක්‍ෂණ චාරිකාවේදී ඒකකයේ පාලන කටයුතු සහ අනෙකුත් කාර්යය භාර්යයන් පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

නිරීක්‍ෂණ චාරිකාව සමාප්තියේදී එතුමන් විසින් 1 වන විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙම නිරීක්‍ෂණ චාරිකාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න, ආරක්‍ෂක සේනා මූලස්ථාන - බටහිර පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අසේල අමරසේකර, එම මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද එක් වූහ.