Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th October 2022 16:41:59 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය සේවා කාලය තුළ දිවයින පුරා සේවයේ නියුතු භටපිරිස් විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළකිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හී සිදුකරනු ලබන සංචාරයන්ට සමගාමීව 2022 ඔක්තෝම්බර් මස 15 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයේ නිරත වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඒ අනුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කදවුරු පරිශ්‍රය වෙත සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past ) පුදකළහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් යුද්ධ හමුදාධිපති වශයෙන් සිය දූර කාලය තුළ ක්‍රියාත්මක කරනු ලැබූ ජාතික ව්‍යාපෘති ඇතුළු සියලුම වැඩසටහන් සඳහා දැක්වූ දායකත්වය මෙන්ම කොවිඩ් - 19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට සක්‍රීයව දායක වූ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයන් වෙත සිය කෘතඥතාව පුදකරන ලදී.

තවද, දීප ව්‍යාප්තව සේවයේ නියුතු සියලුම භටපිරිස් වෘත්තීයමය සහ වගකීම් සහගතව රාජකාරි ඉටුකිරීමෙන් අනපේක්‍ෂිත සිදුවීම් අවම කර ගැනීමටත්, මහජන විශ්වාසය ප්‍රවර්ධනය කරගැනීමටත්, පොදු ජනතාවට සහන සැලසීමට යුද්ධ හමුදාවට හැකි බව එතුමන් අවධාරණය කළේය.

පසුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ මේජර් ජෙනරල් චම්පක රණසිංහ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය. ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් එක්වූහ.