Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2021 00:01:01 Hours

අභීත රණශුරයින් යුද්ධ හමුදා 72 වන සංවත්සර දිනය අභිමානවත්ව සමරති

නිර්භීතභාවය, විනය, පක්‍ෂපාතිත්වය සහ විශිෂ්ඨ කුසලතාවයන්ගෙන් පරිපූර්ණව රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය උදෙසා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරනු ලබන ජාතියේ ආරක්‍ෂකයා ලෙස රට වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාඩම්බර 72 වන සංවත්සරය අද (10) දිනට යෙදී තිබේ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධයෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික රණවිරුවන්, සේවයේ යෙදී සිටින යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් සිහිපත් කරමින් යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනයේදී සියලුම නිලධාරීන්ට සහ සෙසුනිලයින්ට මෙන්ම සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට සිය සුබපැතුම් පිරිනමයි.

මෙවර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවති 72 වන යුද්ධ හමුදා සංවත්සර දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගී වීම පිළිබඳව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය කෘතඥතාවය පුදකරන ලදී. 2021 වර්ෂයේ යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්ථාගත උසස්වීම් ප්‍රමාණයක් ලබාදෙමින් නිලධාරින් 567 ක් සහ සෙසු නිලයින් 10,368 ක් වෙත නිල උසස්වීම් ලබාදෙන ලදී. ගජබා රෙජිමේන්තුවේ ගෞරවාදරයට පාත්‍ර වූ ගජබා රෙජිමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කළ වත්මන් ජනාධිපතිතුමන් සහභාගී වීම මෙවර යුද්ධ හමුදා සංවත්සර දින සැමරුම් උත්සවයට සුවිශේෂීත්වයක් එක් කරයි. එමෙන්ම, මෙම සංවත්සර උත්සවය සඳහා රට ආරක්‍ෂා කිරීම වෙනුවෙන් නිරීභිතව පෙරමුණ ගෙන කටයුතු කළ තවත් එක් සුවිශේෂි පුද්ගලයෙකු වූ ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් සාමාජිකයෙකු වන වත්මන් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ද සහභාගී වේ.

වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 වන දින ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බලකාය, 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනත යටතේ බ්‍රිගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයාර්ගේ (Brigadier Roderick Sinclair) අණදීම යටතේ ආරම්භ කරන ලදී. පසුව, දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය පිහිට වූ බ්‍රිගේඩියර් ඇන්ටන් මුතුකුමරු, එවකට ලංකා හමුදාවේ පළමු හමුදාධිපති ලෙස රාජකාරි ඇරඹූහ. ගෙවීගිය වසර 71 ක අඛණ්ඩ කාල පරාසය පූරාවට යුද්ධ හමුදාවේ සාර්ථකත්වය උදෙසා යුද්ධ හමුදාධිපතිවරුන් 22 දෙනෙකු අණදීම් සිදුකර ඇති අතර වත්මන් යුද්ධ හමුදාධිපති 23 වන යුද්ධ හමුදාධිපති වශයෙන් යුද්ධ හමුදාවට අණදීම සිදුකරනු ලබයි. මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා සිය දිවිහිමියෙන් කටයුතු කරමින් සේවයට කැපවූ රෙජිමේන්තු 25 ක් සමඟින් දිවයින පූරා විසිරී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රටවැසියන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වී ඇත.

එමෙන්ම, ජාතික ආරක්‍ෂක තර්ජන පවතින අවස්ථාවන්හිදී සිය සේවාවන් කඩිනමින් ව්‍යාප්ත කර අසමසම හැකියාවන් පෙන්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික ව්‍යසන, ස්වභාවික ආපදා, හදිසි අවස්ථා ආදිය සඳහා ක්‍රියාකාරීව දායක වෙමින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම උදෙසා අප්‍රමාණ සේවයක නිරතව සිටියි. එසේම, ජාතිය ගොඩනැඟීමේ දැවැන්ත ව්‍යාපෘතිවල නිරත වීම, එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරි සඳහා දායක වීම, මානුෂීය ව්‍යාපෘති, බෝම්බ ඉවත් කිරීමේ කටයුතු, නිවාස හා පොදු ගොඩනැගිලි ඉදිකිරීම්, පාසල් යටිතල පහසුකම්, වන වගා සහ උද්‍යාන අලංකරණ ව්‍යාපෘති දියත් කිරීම, වැව්, මාර්ග, ආගමික ස්ථාන ආදිය ප්‍රතිසංස්කරණය, නවීන වාහන, යන්ත්‍රෝපකරණ සහ උපකරණ ආදිය නිෂ්පාදනය කිරීම ආදී ව්‍යාපෘති මෙන්ම අතිගරු ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ සංකල්පය යතාර්ථයක් බවට පත්කරනු වස් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් කෘෂිකාර්මික කටයුතු නංවාලීමේ අරමුණින් නව රෙජිමේන්තුවක් යුද්ධ හමුදාවට දායාද කරන ලදී. තවද, ජාත්‍යන්තර ක්‍රිඩා තරඟ ඉසව් සඳහා දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවමින් ජාතික මට්ටමේ පදක්කම් හිමිකරගනිමින් රටේ අභිමානය ඔප්නැංවීමටත් යුද්ධ හමුදාව සුවිශේෂී ලෙස දායක වී ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති මෙන්ම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස රාජකාරි කරනු ලබන යුදබිමේ අභීත රණශූරයෙකු වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ ඉදිරි අනාගතය සහ ආරක්‍ෂක තර්ජන පිළිබඳ සැලකිල්ලට ගනිමින් එතුමන්ගේ දුරදර්ශි සංකල්පයකට අනුව දැනටමත් යුද්ධ හමුදාව නව මාවතකට හැරවීම සඳහා අවශ්‍ය මංපෙත් සියලු අංශයන්ගෙන් පරිපූර්ණව අධිෂ්ඨානයෙන් යුතුව සකස් කරනු ලබයි. අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු දක්‍ෂ රණවිරුවන්, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් සන්නද්ධ හමුදාවන් සමග එක්ව රට පුරා පැතිර ගිය කොවිඩ්-19 වෛරසය මඟහරවා ගැනීම සඳහා යුද්ධ හමුදාව නිරන්තරව කැපවී කටයුතු කරන අතර කොව්ඩ් - 19 තර්ජනයේ ගෝලීය මට්ටමට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විතයේදී ඉදිරියෙන් සිටියි. මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය, ලෝකයේ රටවල් අතරින් පළමුව දියත් කළ ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අනෙකුත් ගෝලීය ආයතනවල පැසසුමට ලක්ව ඇත.

රටේ දැවැන්තම වෘත්තීය කුසලතාවයන්ගෙන් හෙබි ශ්‍රම බලකාය සඳහා නායකත්වය සපයන වත්මන් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සුභසිද්ධිය උදෙසා නව මාවතකට ගෙන එන ලදී. ඒ අනුව යුද්ධ හමුදාවේ අනාගත හමුදා ඉලක්කයන් සහ ඇතිවිය හැකි තර්ජන ආදිය සලකා බලමින් අනාගත තීරණයන්ට එළඹීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ යුද්ධ හමුදාව සඳහා නව ජීවයක් ලබාදෙනු ඇත.

යුද්ධ හමුදා සාමාජිකයින් කිසිදු පැකිලීමකින් තොරව සිදුකළ පුරෝගාමී සේවාව රටේ පවතින තිරසාර සාමය හා සංහිඳියාව සඳහා විශාල වශයෙන් දායක වී ඇත. එමෙන්ම, ජාතික ව්‍යසන, හදිසි අවස්ථා හා ස්වභාවික විපත් වලදී ඉතා කඩිනමින් එම ව්‍යසනයන් යථා තත්ත්වයට පත්කිරීමට යුද්ධ හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරයි.

දශක හතක ගමන්මඟේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට යුද්ධ හමුදාධිපතිවරුන් 22 දෙනෙකු නායකත්වය ලබාදී ඇති අතර සාඩම්බර යුද හමුදා ඉතිහාසයකට උරුමකම් කීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්, අනෙකුත් රණවිරුවන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ගේ දායකත්වය ඉමහත් වේ. මෙම සංවත්සර දිනය නිමිත්තෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කළ යුතුයි. තවද, සමෘද්ධිමත්, සාමකාමී හා සංහිඳියාව පිළිඹිබු කරන රටකට උරුමකම් කීම වෙනුවෙන් යුද පිටියේ ලේ වැගිරූ දිවංගත වීරෝදාර රණවිරුවන් මවුබිම වෙනුවෙන් දිවිපිදූ අසමසම රණශූරයින් ලෙස ඉතිහාසයට එක්වී ඇත. ජාතියේ සැබෑ ආරක්‍ෂකයින් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය කාර්යභාරය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඉදිරියට යමින් සිටිති.

72 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් මධ්‍යයේ ආරම්භ කරනු ලැබූ අතර ඒ හා සමානව ධජයන්ට සෙත් පතා හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගමික වතාවත්ද යුද්ධ හමුදා භටපිරිස්වල සහභාගිත්වයෙන් පැවැත්වූහ. එමෙන්ම, කතරගම, කිරිවෙහෙර පුදබිමේදී විශේෂ ආශිර්වාද පූජාවක් හා යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වා පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කරන ලදී.

තවද, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද පූජාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය. බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදි යුද්ධයෙන් දිවිපිදූ විරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම ද සංවත්සර විශේෂාංග මාලාවේ එක් ප්‍රධාන අංගයක් විය. 72 වන යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ විශේෂාංගවල සමාප්තිය මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගජබා රෙජිමේන්තු රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවති උත්සවයේදී සනිටුහන් විය. එමෙන්ම, වරෙක බ්‍රිත්‍යාන්‍ය අග්‍රාමාත්‍යවරයාව සිටි වින්ස්ටන් චර්චිල් (Winston Churchill) පැවසු පරිද්දෙන් ‘යුද්ධ හමුදාව මඟින් සිදුකරනු ලබන අතිමහත් සේවය කිසිසේත් සුළුකොට තැකිය නොහැකි අතර එම නිසාවෙන් යුද්ධ හමුදා සාමාජිකයන් කිසිවිටෙකත් දේශයට ණයකරුවන් නොවේ’. (Never in the field of human conflict was so much owed by so many to so few). එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද එයාකාරයෙන් කටයුතු කරනු ලබයි. එවැනි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද (10) දින සිය 72 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරන ලද වගයි.