Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st February 2024 16:50:01 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා ( පෙබරවාරි මස 21 ) දින ජයරත්න මල් ශාලාවේදී සිය අවසන් ගෞරව දැක්වීය.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීගේ පවුලේ ඥාතීන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එතුමන්ගේ වියෝව පිළිබඳව සිය ශෝකය පළ කලේය.

මව්බිම වෙනුවෙන් අනගිභවනීය සේවයක් ඉටුකරනු ලැබූ, මේජර් ජෙනරල් ඩී.එස්.කේ විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී (විශ්‍රාමික) පසුගිය ඉරිදා (පෙබරවාරි මස 18) දින ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට එතුමන් 79 වන වියේ පසුවිය.

වර්ෂ 1971 අප්‍රේල් මස 26 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බදවා ගැනීම අංක 04 යටතේ බැඳුණු එතුමන්, දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව අවසන් කර 1971 මැයි මස 25 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලැබූ එතුමන් 1999 පෙබරවාරි මස 24 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන විට එතුමන් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ධූරයේ රාජකාරි හොබවනු ලැබීය.