Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2022 ශූරතාවය 22 වන පාබල සේනාංකයට

අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2022 ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර, මූලිකත්වයෙන් පසුගිය දා ආරම්භ වූ අතර, ඒ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත යුද්ධ හමුදා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ. තියුණු තරඟාවලියකින් අනතුරුව 22 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම සහ 23 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයට තේරීපත් වූහ. එම කණ්ඩායම් දෙකේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලයේ එහම්පරම් ක්‍රීඩාංගණයේදී පසුගිය සෙනසුරාදා (10) දින පැවැති අවසන් මහා තරඟයේදී ගෝල 1-0 ලෙස අඛණ්ඩව 4 වන වරටත් අන්තර් සේනාංක පාපන්දු තරඟාවලියේ ශූරතාවයට හිමිකම් කීමට 22 වන සේනාංක පාපන්දු කණ්ඩායම සමත් වූහ.

අවසන් මහා තරඟයේදී කණ්ඩායම් දෙක අතර තියුණු තරඟයක් පැවතියද, 22 වන පාබල සේනාංක පාපන්දු කණ්ඩායම තරගයේ ආරම්භයේ සිටම ප්‍රතිවාදී කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කරමින් ගෝල ලබාගැනීමේ සියලු අවස්ථා ව්‍යර්ථ කිරීමට සමත් වූහ. මෙම තරඟාවලිය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22, 23, 24 වන පාබල සේනාංක සහ ඉදිරි නඩත්තු පෙදෙස-නැගෙනහිර නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් සහභාගී වූ අතර, එම කණ්ඩායම් සඳහා පෙරහුරු තරඟ පවත්වමින් එයින් දක්‍ෂතා අතරට පැමිණි ක්‍රීඩකයින් තෝරාගන්නා ලදී.

මෙවර ශූරතාවයට හිමිකම් කීමට සමත් වූ 22 වන පාබල සේනාංක කණ්ඩායම සඳහා 221 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව, 222 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 223 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූහ.

අවසන් මහා තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහභාගී වූ අතර, එතුමන් විසින් ජයග්‍රාහකයින් වෙත සහතිකපත්, පදක්කම් සහ කුසලාන ප්‍රදානය කරන ලදී. 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම සහ සමස්ත ඉසව්ව සම්බන්ධීකරණය කළ 221 වන පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව රත්නායක ගේ උපදෙස් මත මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී.

අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, මේජර් ජෙනරල් චානක මෙත්තානන්ද, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ශෙවන්ත කුලතුංග, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර, බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වූහ.

අවසන් මහා තරඟය අතර තුර පාපන්දු ලෝලීන්ගේ සහ සම්භාවනීය අමුත්තන්ගේ විනෝදාස්වාදය උදෙසා යුද්ධ හමුදා අංගම්පොර ක්‍රීඩා සංදර්ශනයක්, ටයිකොන්ඩෝ ඉසව්වක් සහ ගජබා රෙජිමේන්තුවේ බටහිර තූර්ය වාදක සංදර්ශනයක් පවත්වන ලදී. ත්‍යාග ප්‍රදානෝත්සවය අවසානයේ, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් අන්තර් සේනාංක පාපන්දු තරඟාවලිය - 2022 ශූරතාවය දිනාගත් 22 වන පාබල සේනාංක කණ්ඩායම වෙත පාපන්දු කුසලානය ප්‍රදානය කරන ලදී.