Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th October 2021 15:24:50 Hours

අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පැවති ඓතිහාසික 72 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයට එක්වේ

සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ඔක්තෝබර් (10) දින උදෑසන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්සවය ඉතාමත් උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම උත්සවය සඳහා සුවිශේෂීත්වයක් එක් කරමින් එම රෙජිමේන්තුවේ නිර්භීත හා කීර්තිමත් නිලධාරියෙකු වූ වත්මන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ අතර එහිදී, එතුමන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදුන්හ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව මෙම සංවත්සර දින උත්සවය සඳහා සුවිශේෂිත්වයක් එක් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් එම පරිශ්‍රය වෙත පැමිණී අතර ඊට ප්‍රථම ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකු වන වත්මන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණියේය.

පසුගිය සැප්තැම්බර් මස අවසාන සතියේ යුද්ධ හමුදා සංවත්සර උත්සව මාලාව ආරම්භ වූ අතර මෙම උත්සවය එම සැමරුම් උත්සව මාලාවේ සමාප්තිය සනිටුහන් කරයි. න්‍යාය පත්‍රයට අනුව, ප්‍රථමයෙන්ම රෙජිමේන්තු මූලස්ථානයේ ස්ථාපනය කළ නව සරඹ භුමියේදී එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් වෙත ගජබා රෙජිමෙන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, අතිගරු ජනාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කර නව සරඹ භූමිය විවෘත කළේය. පසුව, එතුමන් සරඹ භූමියේ විශේෂ පීඨිකාව වෙත ගමන් කළේය. ඉන් අනතුරුව, ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණ වලින් යුක්ත රෙජිමේන්තු 25 ට අයත් නිලධාරින් 94 දෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 712 දෙනෙකුගෙන් සමන්විත උත්තමාචාර පෙළපාලිය අතිගරු ජනාධිපතිතුමන් විසින් පරික්‍ෂා කළේය.

ඉන් අනතුරුව, වසර 72 ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් යුද්ධ හමුදාව දේශයෙහි සුරක්‍ෂාව හා යහපත සිදුකරමින් පැමිණි සාර්ථක ගමන්මගේ එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික කොඩිය සහ යුද්ධ හමුදා කොඩිය ඔසවනු ලැබූහ. ඉන් අනතුරුව, ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය වාදනය කරනු ලැබීය.

ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීමට පෙර ආචාර පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා එතුමන් වෙත ආරාධනා කරන ලදී. පසුව, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් කෙටි දේශනයක් සිදුකරමින් යුද්ධ හමුදා සංවත්සර දිනය වෙනුවෙන් සිය සුභපැතුම් පිරිනැමුවේය.

එහිදී, අදහස් දක්වමින් ජනාධිපතිතුමන් ශ්‍රී ලංකා සංඥා බලකාය සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට මෙන්ම අවසානයේ ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරි ඉටුකළ ආකාරය පිළිබඳ සිහිපත් කළ අතර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා සාලියපුර භූමිය තෝරාගැනීම සඳහා තමන් මූලිකත්වය ගෙන කටයුතු කළ බව ප්‍රකාශ කළේය. එම රෙජිමේන්තු පරිශ්‍රයේ නව ඉදිකිරීම් සහ ගොඩනැගිලි සංකීර්ණය මෙලෙස සංවර්ධනය වීම පිළිබඳ සිය සතුට පළකරමින් රාජ්‍ය නායකයා ලෙස පාලනය භාරගෙන රාජ්‍ය පාලනය කිරීමට යුද්ධ හමුදා නිලධාරියෙකු ලෙස තමන් මහත් පන්නරයක් ලබාගත් බව හෙතෙම ප්‍රකාශ කරන ලදී.

තවද, අතිගරු ජනාධිපතිතුමන් “මා පොරොන්දු වූ පරිදි මා හට ඉටුකිරීමට තවත් බොහෝ වගකීම් ඇත. සෑම කෙනෙකුටම සිදුකළ නොහැකි කාබනික පොහොර ගොවිතැන් කටයුතු සඳහා හඳුන්වාදීම ඉන් එකක් වූ අතර, ‘එක් රටක් - එක් නීතියක්’ යන පොරොන්දුව ස්ථිර කිරීම ඇතුළු වගකීම් රැසක් අනාගතයේදී මා විසින් නිසැකවම ඉටුකරමි. ජාතික සංවර්ධන කටයුතුවල ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයේ සැබෑ දායකයින් ලෙස ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරති. අද දින ඉදිරිපත් කරන ලද වර්ණවත් හා ඉතා ආකර්ෂණීය පෙළපාලිය, හමුදා වෘත්තියේ ගුණාත්මකභාවය සහ ගෞරවාන්විතභාවය සංකේතවත් කරයි.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

වැඩිදුරටත් අදහස් දැක්වූ අතිගරු ජනාධිපතිතුමන් “ලෝකයේ යුද්ධ හමුදාවන් සටන් සඳහා පමණක් නොව ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයද ඔවුන් සතුව ඇත. නිරෝධායන ක්‍රියාවලිය සහ ත්‍රිවිධ හමුදා එන්නත්කරණ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු සඳහා දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු දෙනාටම මාගේ ස්තූතිය පුදකරමි. ‘එක රටක් - එක නීතියක්’ සංකල්පයට අනුව දූෂණයෙන් තොරව රටේ ප්‍රගතිය සඳහා සහයෝගය දක්වන ලෙස මා සෑම දෙනාගෙන්ම ඉල්ලා සිටින අතර කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් සිදු වී ඇති පසුබෑම නොතකා රජය සැලකිය යුතු වැඩ කොටසක් කර තිබෙන බව” ප්‍රකාශ කරන ලදී.

පසුගිය දෙවසරක කාලය තුළ ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ ශක්තිමත් කර ඇති බැවින් කිසිදු ආගමික අන්තවාදයක් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නැවත ඇතිවීමට තමා ඉඩ නොදෙන බවට ද ඔහු සහතික විය. නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව ද අතිගරු ජනාධිපතිතුමන් මෙම අවස්ථාවේදී ප්‍රකාශ කරන ලදී.