Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2022 21:54:01 Hours

8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන සංවත්සරයට සමගාමීව ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක්

8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 29 වන බලඇණි සංවත්සරය වෙනුවෙන් එම ඒකකයේ භටපිරිස් විසින් මන්නාරම ජාතික ලේ බැංකු ශාඛාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේද සහයෝගය ඇතිව මන්නාරම ප්‍රදේශයේ රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (3) දින ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා එම ඒකකයේ නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළුව සියයකට (100) වැඩි පිරිසක් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ.

බලඇණි සංවත්සර උත්සයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (01) දින මාතෘභූමියේ නිදහස වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගය කළ එම ඒකකයේ රණවිරුවන් සිහිකරමින් මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් සිදුකරන ලදී. තවද, එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි 542 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශිහාන් ප්‍රනාන්දුගේ සහභාගීත්වයෙන් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් 25 ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් බෙදා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර දින, 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ජී.එන්.ආර්.පී සිල්වා වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කළ අතර, ඉන් පසු සියලු භටපිරිස් අමතමින් දේශණයක් ද පැවැත්වීය. පසුව සමූහ ඡායාරූපයක් වෙනුවෙන්ද පෙනීසිටි එතුමන් ඉන්අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක්විය. පසුදින නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් සුහඳ ක්‍රිකට් තරඟාවලියක්ද පවත්වනු ලැබිණි.