Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd October 2023 12:09:02 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව කතරගම කිරිවෙහෙර පුදබිමේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී ඇති 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීමේ ආශිර්වාද පූජාව සඳුදා (ඔක්තෝබර් මස 02) දින ඵෙතිහාසික කතරගම කිරිවෙහෙර අභියසදී හා කතරගම දේවාල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී යුද්ධ හමුදා දිනයට ආශිර්වාද එක්කිරීම සඳහා යුද්ධ හමුදා ධජයන් පෙරටු කරගත් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම ආශිර්වාද පූජාව සඳහා එක්වූහ.

යුද්ධ හමුදා මූලස්ථාන ධජය, ස්වේච්ඡා බලකා මූලස්ථානය, ආරක්‍ෂක සේනා මූලස්ථාන, පුහුණු පාසල්, සේනාංක, බලසේනා, ඒකක සහ යුද්ධ හමුදා පුහුණු පාසල්වල ධජ, යුද්ධ හමුදා බෙර වාදන ශිල්පීන් පෙරටු කරගනිමින් ඉමහත් භක්තියෙන් තෙවරක් ‘කිරිවෙහෙර’ චෛත්‍ය රාජයාණන් වටා පැදකුණු කොට ආශිර්වාද පතා පූජාසනයක තැන්පත් කරමින් ආශිර්වාද පැතීය. ඉන් අනතුරුව, පැවැති විශේෂ කප්රුක් පූජාව සඳහා සහභාගී වූ සියලුදෙනා කිරිවෙහෙර පරිශ්‍රයේ පොල්තෙල් පහන් දැල්විමෙන් අනතුරුව ගිලන්පස පූජාවක් ද පැවැත්වීය.

කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකර යුද්ධ හමුදාවට ආශීර්වාද එක් කළේය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුක්තව මහා සංඝරත්නය උදෙස‍ෙ පිරිකර පූජා කළේය. ඉන් අනතුරුව, සුදු නෙළුම් මල් වලින් සැකසු මල් මලා මහසෙන් දේවාලයට පූජා කිරීමේ විශේෂ පූජාවක් ද එහිදී පැවැත්විණි.

එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් කතරගම ඓතිහාසික පුදබිමේ සංවර්ධන කටයුතු සඳහා මූල්‍යමය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

පූජනීය කිරිවෙහෙර පරිශ්‍රයේ පළමු මහලේ ටයිල් අතුරා අර්ධ වශයෙන් ඉදිකරන ලද විහාර මන්දිරයේ ඉතිරි කටයුතු ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද අතර, ඒ සඳහා දායකත්වය යුද්ධ හමුදා භටපිරිස් විසින් ලබාදෙනු ඇත.

යුද්ධ හමුදා ධජ රැගත් යුද්ධ හමුදා සාමාජිකයින් සහ හේවිසි කණ්ඩායම්වලින් සමන්විත පෙරහැර, කතරගම පූජාභූමිය වෙත පැමිණිමෙන් අනතුරුව එම ධජ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වන ලදි. පසුව, අෂ්ඨඵල බෝධින් වහන්සේ අභියසදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බෝධින් වහන්සේ උදෙසා අටපිරිකර පූජා කරන ලදී.

යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සඳහා එම ධජයන් කතරගම දේවාල මන්ධිරයන්හී තැන්පත් කිරීමෙන් අනතුරුව දේවාලයේ තේවාව ආරම්භ කරන ලදි. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු සඳහා මුල්‍යමය පරිත්‍යාගයක් ද බස්නායක නිලමේතුමන් වෙත පිරිනැමීය.

සම්ප්‍රදායානුකූල චාරිත්‍රයන්ට මුල්තැන දෙමින් ප්‍රධාන දේවාලයේ පැවැති විශේෂ ‘මුරුතන් පූජාවෙන්’ පසුව මෙම ආශිර්වාද පූජාව සමාප්ත වූ අතර එම අවස්ථාව සඳහා නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.