Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2023 16:31:02 Hours

74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සර්ව රාත්‍රික ආශීර්වාද ‘පිරිත් සජ්ඣායනයක්’

ඔක්තොම්බර් මස 10 දිනට යෙදෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනය’ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පැවැත්වෙන ආගමික උත්සවයන්හී අවසන් අංගය වශයෙන් සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීය. ඒ සඳහා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය

ඉත්තෑපාන ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ, රුක්මලේ ධම්ම විජයාලෝක විහාරාධිපති සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්නුවර අනුරුද්ධ හිමියන්, කෝට්ටේ රජ මහා විහාරයේ සහ ඇලන් මෙතිනියාරාමයේ විහාරාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි සහ තවත් හිමිවරු කිහිප නමක් වැඩම කළහ.

යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ මෙම සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සඳහා යුද්ධ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ සාම්ප්‍රදායික බෙර වාදකයින් සහ කොඩි දරන්නන් පෙරටු කරගත් වර්ණවත් පෙරහැරකින් එම භික්‍ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපය වෙත ඉතා ගෞරවයෙන් යුක්තව වැඩම කරවීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් ඉමහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව අලංකාරවත් ලෙස සකස් කර තිබූ පිරිත් මණ්ඩපය වෙත ධාතු කරඬුව වැඩම කරවූ අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඉමහත් ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීය.

භික්‍ෂුන් වහන්සේලා පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පුරාණ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව මහා සංඝරත්නය වෙත දැහැත්වට්ටිය පිළිගන්වමින් යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනය වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සඳහා ආරාධනා කරන ලදී. මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ ධර්මරාජ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන නායක ස්වාමින් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් යුද්ධ හමුදාවේ 74 වන සංවත්සරයේ ඇති වැදගත්කම සහ ජාතිය වෙනුවෙන් යුද්ධ හමුදාව සිදුකළ කෘතහස්ත සේවය පිළිබඳ පැහැදිලි කළේය. අනතුරුව යුද්ධ හමුදාවට සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට ආශිර්වාද එක්කරමින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කළහ. එහිදී නායක ස්වාමින් වහන්සේ යුද්ධ හමුදාවේ කීර්තිමත් ඉතිහාසය සිහිපත් කරමින් එහි සේවය අගය කළ අතර, ජාතියේ ආරක්‍ෂකයින් ලෙස එහි ඉදිරි ගමනට සුබ පැතුම් එක් කළේය.

මෙම පිංකම සංවිධානය කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ඇතුළු යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ නිලධාරින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා සියලු නිලයන්ගේ සහයෝගය හිමිවූහ.

මහා සංඝරත්නය උදෙසා සිකුරාදා (06) දින උදෑසන සාංගික ‘හීල් දානය’ පිරිනැමීමෙන් අනතුරුව බෞද්ධ ආගමික උත්සවය සමාප්තියට පත්විය. එම හීල් දානය පූජා කිරීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්, ජානකී ලියනගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.