Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2022 15:14:05 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 211 වන බලසේනාවෙන් ආගමික වැඩසටහනක්

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන සේනාංකයට අයත් 211 වන බලසේනාවේ භටපිරිස් විසින් මැදවච්චිය සහ ඒ අවට ප්‍රදේශයේ ආරාම සහ විහාරස්ථානයන්හී වැඩවසන භික්‍ෂූන් වහන්සේලා 100 නමක් වෙත පසුගිය සිකුරාදා (07) දින සාංගික දානයක් පූජාකරනු ලැබීය.

211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජේරත්න ගේ උපදෙස් හා සිංගප්පූරුවේ ව්‍යාපාරිකයෙකු වන සේහ් වොන්ග් චි (Mr Seah Wong Chi) මහතා සහ ‘සරණ බෞද්ධ පදනමේ’ සුනිල් විජේවර්ධන මහතා විසින් යුද්ධ හමුදාව වෙත ලබාදුන් අනුග්‍රහකත්වය මත භටපිරිස් විසින් මැදවච්චිය, ඉසින්බැස්සගල රජමහා විහාරස්ථානයේදී මෙම පුණ්‍ය උත්සවය ක්‍රියාත්මක කරන ලදි. වර්ථමානයේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් උතුරුමැද පළාතේ දුෂ්කර ප්‍රදේශවල බොහෝ ආරාමයන්හී වැඩවසන භික්‍ෂූන් වහන්සේලා වෙත දෛනික සිවුපසය ලබාගැනීමේ දුෂ්කරතා පැවතීම හේතුවෙන් ඒ පිළිබඳ සලකා බලා මෙම පුණ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

භටපිරිස් විසින් භික්‍ෂූන් වහන්සේලා වෙත එම විහාරස්ථාන පරිශ්‍රය වෙත වැඩම කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමෙන් අනතුරුව භටපිරිස් විසින් සියලුම භික්‍ෂුන් වහන්සේලා පෙරහැරකින් ධර්මශාලාවට වැඩම කරවනු ලැබූහ. එහිදී, භික්‍ෂූන් වහන්සේ නමක් විසින් අනුශාසනාවක් පවත්වමින් 211 වන බලසේනාවේ මූලිකත්වයෙන් සිදුකළ මෙම පුණ්‍යකර්මය ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව මෙම පූණ්‍ය උත්සවයේ සංවිධාකයින් සහ අනුග්‍රාහක භවතුන් වෙත ආශිර්වාද එක්කළේය.

මෙම දානමය පිංකම සමාප්තියේ භික්‍ෂූන් වහන්සේලා වෙත පිරිකර පූජා කිරීමෙන් අනතුරුව අනුග්‍රාහක භවතුන්ගේ ත්‍යාගශීලීභාවයෙන් එක් භික්ෂූන් වහන්සේ නමකට රුපියල් 10,000/= ක මුදලක් බැගින් පූජා කරනු ලැබීය. මෙම පුණ්‍ය උත්සවය සඳහා 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද විජේරත්න සහ අනුග්‍රාහක භවතුන් ද එක්වූහ.

මෙම ආගමික වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා 14 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ටී.එස්.ජී.පී.එස්. අමරසේන, 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, 211 වන බලසේනාව සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සිය බැතිබර දායකත්වය ලබාදුන්හ.