Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th October 2021 22:42:20 Hours

72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආශීර්වාද සර්ව රාත්‍රික ‘පිරිත් සජ්ඣායනයක්’

ඔක්තොම්බර් මස 10 වන දිනට යෙදෙන 72 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික බෞද්ධ ආගමික අංගයක් වන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය බදාදා (6) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානය වෙත මහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව මහා සංඝරත්නය වැඩම කරවා අලංකාරවත් අයුරින් පැවැත්විණි. එමෙන්ම, පසු දින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරිමටද කටයුතු යොදා තිබිණි.

එළඹෙන යුද්ධ හමුදා සංවත්සර දිනය (10) නිමිත්තෙන් යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවට යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායමේ නර්තන ශිල්පීන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්, පූජ්‍ය (මහාචාර්ය) මැදගොඩ අභයතිස්ස නාහිමියන් සහ ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වැඩම කරවීමෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉමහත් භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව අලංකාරවත් ලෙස සකස් කර තිබූ පිරිත් මණ්ඩපය වෙත ධාතු කරඬුව වැඩම කරවූ අතර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහභාගී වූහ. මෙහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පුරාණ බෞද්ධ සම්ප්‍රදායන්ට අනුකූලව මහා සංඝරත්නය වෙත සංකේතාත්මකව දැහැත්වට්ටිය පිළිගන්වමින් යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර දිනය වෙනුවෙන් පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සඳහා ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙනුවෙන් ප්‍රධාන භික්‍ෂුන් වහන්සේ විසින් අනුශාසනාවක් පවත්වමින් යුද්ධ හමුදාවේ 72 වන සංවත්සරයේ ඇති වැදගත්කම සහ ජාතිය වෙනුවෙන් යුද්ධ හමුදාව සිදුකළ අමිල සේවය පිළිබඳ පැහැදිලි කළේය. එම හිමිපාණන් යුද්ධ හමුදාවට ආශිර්වාද එක්කළ අතර කුරිරු යුද්ධයෙන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙත පිං අනුමෝදන් කරනු ලැබිණි. තවද, උන්වහන්සේ විසින් යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලබන විවිධ ක්‍රියාන්විත පිළිබඳව අගය කරමින් ජාතියේ ආරක්‍ෂකයින් ලෙස සිදුකරනු ලබන මෙහෙවර පිළිබඳව ආශිර්වාදයන් ද එක්කරන ලදී.

මෙම පිංකම සංවිධානය කිරීමේ කටයුතු සඳහා යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති සහ අනෙකුත් නිලධාරින් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ඒ සඳහා අනෙකුත් ශාඛාවල සහයෝගය ද හිමිවූහ.

මහා සංඝරත්නය උදෙසා බ්‍රහස්පතින්දා (07) දින උදෑසන සාංගික ‘හීල් දානය’ පිරිනැමීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැත්වෙන බෞද්ධ ආගමික උත්සවය සමාප්තියට පත්විය. එම හීල් දානය පූජා කිරීමේ අවස්ථාව සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සූජීවා නෙල්සන් මැතිණිය, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.