Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2022 15:19:50 Hours

58 වන සේනාංකයේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

වර්ෂ 2009 ජනවාරි මස 03 වන දින වන්නි මානුෂීය මෙහෙයුමේදී පිහිටුවන ලද 58 වන සේනාංක මූලස්ථානය සිය 13 වන සංවත්සරය ආගමික වතාවත් සඳහා මුල්තැනක් දෙමින් අභිමානවත් අයුරින් සමරන ලදී. එමෙන්ම, ජනවාරි මස 2 සහ 3 දිනයන්හිදී ඊට සමගාමීව ප්‍රජා මූලික ව්‍යාපෘතීන් ද ක්‍රියාත්මක කරනු ලැබීය.

සංවත්සර සැමරුම වෙනුවෙන් ආශිර්වාද එක්කරමින් පුත්තලම, කිවුල, ශ්‍රී ඥානෝදය පිරිවෙනේදී භික්‍ෂුන් වහන්සේලා 70 නමක් විශයෙහිලා දානය පිරිනමා රට වෙනුවෙන් දිවිපිදු 58 වන සේනාංකයේ විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කරන ලදී. ඉන් අනතුරුව, එදින සන්ධ්‍යාවේ (02) 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරින්ට සහ සෙසුනිලයන්ට ආශිර්වාද එක්කිරීමේ බෝධිපූජා පිංකමක් එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

සංවත්සර දිනයේ (03), සේනාංක මුලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ වෙත 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමුහ.  

ඉන් අනතුරුව, එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතූ අතර නව වසරේ වැඩකරන පළමු දිනය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව සඳහා දිවුරුම්දීම සිදුකෙරිණි. පසුව, 58 වන සේනාංකයේ ප්‍රථම සේනාංකාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත්කළ පණිවුඩය කියවන ලදී.

මෙම උත්සවයේ තවත් එක් සුවිශේෂි අංගයක් ලෙස එම සේනාංක පරිශ්‍රයේ ඉදිකළ නව ‘PITSTOP 58’ අවන්හල සහ සිල්ලර වෙළඳසැල සේනාංකාධිපතිතුමන් විසින් සමරු ඵලකය නිරාවරණය කරමින් සුබ මොහොතින් විවෘත කළේය.

58 වන සේනාංකයේ සංවත්සර උත්සවයේ තවත් එක් අංගයක් ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පුත්තලම මූලික රෝහල වෙත ප්‍රදානය කිරීම සඳහා භාරදී තිබූ පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් 58 වන සේනාංකයේ භටපිරිස් විසින් එම රෝහල් බලධාරින් වෙත පවරාදුන්හ.

ඒ අනුව, 58 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අර්ජුන් දුෂාන්ත මහතා වෙත එම උපකරණ තොගය භාරදුන්නේය.

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංක මූලස්ථානය රටේ ඇතිවන ඕනෑම හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීම සඳහා අතිරේක ප්‍රහාරක බලකායක් ලෙස කටයුතු කරයි.