Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th December 2022 10:21:09 Hours

56 වන සේනාංකයේ මූලිකත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් අතර කිරිපිටි පැකට් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංක මූලස්ථානය වෙතින් හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සහයෝගය මත පසුගිය සෙනසුරාදා (24) දින වවුනියාව ප්‍රදේශයේ වෙසෙන තවත් අවශ්‍යතා සහිත පවුල් 200 ක පරිභෝජනය වෙනුවෙන් කිරිපිටි පැකට් 400 ක් බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව සීමාසහිත ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා සමාගම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් එම බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැසියන් අතර කිරිපිටි පැකට් 5600 ක් බෙදාදෙනු ලැබීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හී සේවයේ නියුතු භටපිරිස් විසින් සිය බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරනු ලැබූ අතර, ප්‍රතිලාභින් වෙත නත්තල් දිනයේදී මෙම පරිත්‍යාගයන් සිදුකරනු ලැබීය.

මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදුන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පරිත්‍යාගශීලී සමාගමේ නියෝජිතයින්, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ සරත්චන්ද්‍ර මහතා, 562 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අරුණ ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ භටපිරිස් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

56 වන සේනාංකය යටතේ ස්ථාපිත 562 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩවසටහනේ සංවිධාන කටයුතු සිදුකරන ලදී.