Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th September 2022 16:58:31 Hours

552 වන බලසේනාවේ මූලිකත්වයෙන් අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසල් පුස්තකාලයට පොත් පරිත්‍යාගයක්

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනාවට අනුයුක්ත 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (23) දින සංවිධානය කරනු ලැබූ විශේෂ උත්සවයකදී ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අනුග්‍රාහකත්වය මත යාපනය, අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ප්‍රයෝජනය සඳහා පුස්තකාල පොත් තොගයක් පරිත්‍යාග කරන ලදී.

එළඹෙන ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව, 2022 නොවැම්බර් මස 20 දින මෙම පරිත්‍යාග වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු, ග්‍රන්ථයන් සංරක්‍ෂණය සහ ප්‍රතිසංස්කරණය සඳහා වූ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පළාත්භාර නිලධාරී කලණ චන්දිමාල් වීරතුංග වාකිෂ්ඨ මහතා විසින් සිදුකළේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 552 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජයනාත් ජයවීර ගේ සුරතින් ළමා කතන්දර, සුරංගනා කතා, නවකතා, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ප්‍රබන්ධ කතා ඇතුළු වටිනාකමකින් යුත් දෙමළ භාෂාවෙන් රචිත පොත් රැසක් මෙම අවස්ථාවේදී පරිත්‍යාග කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති, ගුරු භවතුන්, 1 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රෝහණ තිලකරත්න සහ සිසු සිසුවියන් පිරිසක් ද සහභාගී වූහ.