23rd December 2022 21:28:31 Hours
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබන ආසාධ්‍ය රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ 511 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් විසින් පසුගිය අඟහරුවාදා (20) දින ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩටහනක් සඳහා දායක වූහ.
51 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු ගේ මූලිකත්වයෙන් යුද්ධ හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් ජනතාව අතර ඇති සහයෝගිතාවය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව (CIMIC) මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන පැවැත්විණි.
511 වන බලසේනාවේ සහ 51 වන සේනාංකයේ නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇතුළුව 100 කට අධික යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලේ අඩු වෙමින් පවතින රුධිර සංචිත නැවත පිරවීම සඳහා සහයෝගය දැක්වීමක් වශයෙන් මෙම ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන කෝපායි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර, 511 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු, කෝපායි ප්‍රාදේශීය ලේකම් සුභාගිනි මතියලගන්, කෝපායි ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිවලෝගනේෂන්, කෝපායි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශිවසංගරි, යාපනය ලේ බැංකු ශාඛාවේ වෛද්‍ය එම්. ප්‍රදීපන්, යාපනය ලේ බැංකු ශාඛාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී. රවිනාදාස් යන මහත්ම මහත්මීන්, 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඩී.එස්.ඩී අතුකෝරල, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ප්‍රදේශයේ සිවිල් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.