Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th February 2024 15:33:42 Hours

4 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත පිහිනුම් ශූරතාවලිය සාර්ථකව අවසන්

4 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත පිහිනුම් ශූරතාවලිය පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 16) දින ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.

යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 258 දෙනෙකු සහභාගී වූහ.

තරඟාවලියේ සම්මාන සහ සහතිකපත් ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ගල්කිස්ස හෝටලයේ කළමණාකාර තිලෝමි නානායක්කාර මහත්මිය සහභාගී වූහ.

මෙම තරඟාවලියේ කැපීපෙනෙන අවස්ථාවක් වශයෙන් එක් පාදයක් අහිමි ශ්‍රී ලංකා පාබල හමුදාවේ මාණ්ඩලික සැරයන් පී.පී. අජිත් කුමාර තරඟාවලිය විශිෂ්ඨ ලෙස නිමා කළ අතර, ඔහු ත්‍යාග ප්‍රධානෝත්සවයේදී පැසසුමට ලක්විය.

ත්‍යාග ප්‍රධානෝත්සවය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපතිතුමන් ස්තූති කථාව පැවැත්වූ අතර, මෙම අවස්ථාව සඳහා සහභාගී වීම ඇගයීමට ලක්කරමින් එතුමන්ගේ සුරතින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.

තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

සමස්ථ ශූරතාවය (පිරිමි) - ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (ලකුණු 61)

සමස්ථ ශූරතාවය (කාන්තා) - 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය (ලකුණු 56)

කණ්ඩායම් අනුශූරතාව (පිරිමි) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය (ලකුණු 49)

කණ්ඩායම් අනුශූරතාව (කාන්තා) - 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය (ලකුණු 49)

හොඳම ඒකල පිහිනුම් ක්‍රීඩකයා (පිරිමි) - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ඉංජිනේරු සෙබල ආර්.ජේ.ඒ කරුණානායක

හොඳම ඒකල පිහිනුම් ක්‍රීඩිකාව (කාන්තා) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබල ඒ.පී.එම්.එම් ශාන්ති

අභියෝග කුසලානයේ ඉහළම ලකුණු ලබාගත් කණ්ඩායම් - ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය (ඒකාබද්ධ ශූරතාවය)