Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th May 2017 09:10:36 Hours

එක්සත් ජාතින්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය සඳහා යුද්ධ හමුදා භට පිරිස්හි සහාය

අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්විමෙන් සහ සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්ගේ දායකත්වයෙන් ‘ලෝක තිරසාර සාමය උදෙසා බුදුන්වහන්සේගේ ඉගැන්විම්’ තේමා කොටගත් 14 වන එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සහ ජාතික වෙසක් උත්සවය මේ වසරේ ශ්‍රී ලංකාවේ දී මහත් හරසරින් පැවැත්විමට කටයුතු සැලසුම් කර ඇති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පූර්ණ දායකත්වය දක්වනු ලබයි.

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා මුලස්ථානය, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, විධායක ජෙනරාල් ශාඛාව සහ යුද්ධ හමුදා බෞද්ධ සංගමය එක්ව වෙසක් උත්සවය නිමිත්තෙන් දාන ශීල භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් සැරසිලි, බැති ගී ප්‍රසංග වැනි වැඩසටහන් මාලාවන් සංවිධානය කර ඇත.

කෑගල්ල වට්ටාරාම රජමහා විහාර පරිශ්‍රයේ සහ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් සම්මන්ත්‍රණය සදහා රටවල් 85 ක විදේශීය නියෝජිතයින් පැමිණිමට නියමිත අතර මේ වනවිට ඔවුන් අතරින් රටවල් 73 ක නියෝජිතයින්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත. මිට පෙර එක්සත් ජාතින්ගේ වෙසක් උත්සවය 11 වතාවක් තායිලන්තයේ දී ද, දෙවරක් වියට්නාමයේ දී සමරනු ලැබ ඇත.

මෙම වසරේ ජාතික වෙසක් උත්සවය මැයි මස 07 සිට 14 දක්වා පැවැත්විමට නියමිත අතර, උත්සවයේ සංකේතාත්මක ආරම්භය සටහන් කරමින් ගරු බුද්ධ ශාසන අමාත්‍යවරයා යුද්ධ හමුදාව විසින් වට්ටාරාම රජමහා විහාරයේ නවතමයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව සිකුරාදා 05 දින විවෘත කරනු ලැබීය. මෙම ඉදිකිරිම් කටයුතු යුද්ධ හමුදාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරනු ලැබීය.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අනුග්‍රහකත්වයෙන් රුපියල් මිලියන 50 ක් වැය කර ඉදිකරනු ලැබූ මෙම විහාරස්ථානයේ ධර්ම ශාලාව වර්ග අඩි 7000 කින් යුක්ත වන අතර, බැතිමතුන් 2000 කට පමණ එකවර එහි ඉඩපහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය සමඟින් 8 වන ගැමුණු හේවා බළඇණියේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙහි ඉදිකිරිම් කටයුතු සිදු කළ අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත පෞරාණික ‘පොත්ගුල්’ විහාරයේ අලුත්වැඩියා කටයුතු සඳහා ද දායකත්වය සපයනු ලැබීය.

වට්ටාරාම රජමහා විහාරයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවය සඳහා ත්‍රෛනිකායික මහානායක ස්වාමින් වහන්සේලා, ආගමික නායකයින්, අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍යවරුන්, හමුදා ප්‍රධානින්, විදෙස් නියෝජිතයින් ඇතුලු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අඟහරුවාදා (09) දින ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට නියමිතය.

වෙසක් පුන් පොහෝ දින (මැයි 10) බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් යුද්ධ හමුදා බෞද්ධ සංගමය සමඟ එක්ව පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ දී සිල් සමාදන්විමේ වැඩසටහනක් පැවැත්විමට නියමිත අතර, යුද්ධ හමුදා ජනපද පරිශ්‍රය තුල වෙසක් සැරසිලිවලින් සමන්විත වෙසක් කලාපයක් සෙනසුරාදා (13) දින තෙක් මහජනතාව වෙනුවෙන් විවෘතව පවතියි.

විශේෂ බුද්ධ රශ්මි වෙසක් කලාපය ගංගාරාම විහාරස්ථාන ආශ්‍රීතව මැයි මස 11 සිට 14 දක්වා පැවැත්විමට නියමිත අතර, එ් සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් නිර්මාණය කරන ලද වෙසක් සැරසිලි මෙන්ම එම විහාරස්ථානයේ ඉරිදා (14) දින පැවැත්වෙන මල් පෙරහැර සඳහා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම මෙන්ම යුද්ධ හමුදා භට පිරිස් ද සහයෝගය ලබාදෙනු ලැබේ.

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ මැයි මස 10 සිට 13 දක්වා පැවැත්වීමට නියමිත වෙසක් කලාපය සඳහා ද බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් විසින් නර්තනාංගවලින් සමන්විත බැති ගී වැඩසටහන්, බුද්ධ චරිතය විදහාපාන වැඩසටහන් ඉදිරිපත් කරමින් සිය දායකත්වය දක්වනු ලැබේ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් කාර්යාලයේ මඟපෙන්විම යටතේ යුද්ධ හමුදා තුර්ය වාදක හා රංගකලා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නර්තන ශිල්පින් 150 ක්, ගායන ශිල්පින් 40 ක් සහ වාදන ශිල්පින් 40 කින් සමන්විත කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරනු ලබන ‘ඉඟි නළු සමඟින් වෙසක් බැති ගී’ නම් වූ ප්‍රසංගය අඟහරුවාදා (16) දින නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විමට ද නියමිත අතර, දිවයින පූරා පිහිටි සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් ද එළෙඹෙන වෙසක් උත්සවයට සමගාමිව වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතය.

එමෙන්ම, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පැවැත්වෙන වෙසක් කලාපයෙහි යුද්ධ හමුදා භට පිරිස් විසින් වර්ණවත් තොරණක් සහ වෙසක් කුඩු ප්‍රදර්ශනයක් පැවැත්විමට නියමිත අතර, දානපතියෙකු අනුග්‍රහයෙන් යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් මෙම තොරණ ඉදි කරනු ලැබේ. තවද යුද්ධ හමුදාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය, වාළුකාරාම, කොල්ලුපිටිය, ලෙක්හවුස්, යුද්ධ හමුදා මූලස්ථානය, කැළණිය සහ බොල්ලෑගල ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාල පරිශ්‍රයන්හි වෙසක් කලාපයන්හි අලංකාර කටයුතු සඳහා ද සිය දායකත්වය දක්වනු ලබනු අතර, වෙසක් උත්සව සමයේ ගාලුමුවදෝර සිට පිටකොටුව ප්‍රධාන මාර්ගය දෙපස ඉදිකර ඇති වෙසක්කුඩු 300 ක් සඳහා යුද්ධ හමුදා භට පිරිස් විසින් විදුලි ආලෝකය සැපයිමට නියමිතය.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ මඟපෙන්විම යටතේ එම ආරක්ෂක සේනා මුලස්ථානය සහ ඒ යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සහාය ඇතිව මැයි මස 10 සිට 14 දක්වා යාපනය නාගවිහාර පරිශ්‍රය වෙසක් කූඩු සහ විදුලි ආලෝකයෙන් වර්ණවත් කරන අතර, යාපනය වීරසිංහම් ශාලාව අසල අලංකාරවත් තොරණක් ද, නාවක්කුලි මහා විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව පවත්වනු ලබන බැති ගී ප්‍රසංගයක් ද දෙදිනක් පුරා පැවැත්විමට නියමිතය.

එමෙන්ම නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ආරක්ෂක සේන ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධීරගේ මඟපෙන්විම යටතේ පොලොන්නරුව නගරය, වැලිකන්ද, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශ ආවරණය වන පරිදි වෙසක් කුඩූ, වෙසක් සැරසිලි සමඟින් බෞද්ධ නාට්‍ය, බැති ගී සහ දන්සැල් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

දියතලාව පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් ද එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උපුල් විතානගේ ගේ මඟපෙන්විම යටතේ මුතු කුමරු ක්‍රිඩාංගණයේ දී වෙසක් කුඩු ප්‍රදර්ශනයක් ඇතුලු ආගමික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මැයි මස 10 සිට 12 දක්වා දියතලාව නගරයේ දී දන්සැලක් ද පැවැත්විමට නියමිතය.

එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ලුම්බිණි විහාර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත වෙසක් බැති ගී සංදර්ශනය සඳහා එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පලාත් ආණ්ඩුකාරවරයා සහභාගිවිමට නියමිතය. තවද, පෙර පාසල් සඳහා ප්‍රථමාධාර පෙට්ටි බෙදාදීම, බෝධි පූජා සහ සත් බුදු වන්දනා පැවැත්විම, ධාතු ප්‍රදර්ශනය, අඩු ආදායම්ලාභින් සඳහා ගවයින් 20 දෙනෙකු ලබාදීම, බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශන සහ ලේ දන්දීමේ වැඩසටහන් ද මෙම කාලය තුල පැවැත්විමට කටයුතු කර ඇත.

වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන වෙසක් සැමරුම් වැඩසටහන් මාලාවට සමගාමිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ උපදෙස් මත එම මූලස්ථාන පරිශ්‍රය අවට බැති ගී ප්‍රසංගයක්, දන්සැල් සහ වෙසක් කුඩු 400 කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරිමට ද නියමිතය.

මීට අමතරව, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය ද එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ මඟපෙන්විම යටතේ මුලතිව් නගරයේ වෙසක් කුඩු ප්‍රදර්ශනයක් සහ දන්සැලක් පැවැත්විමට ද, බදාදා (10) දින සිල් සමාදන්විමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.

affiliate link trace | Womens Shoes Footwear & Shoes Online