17th February 2023 21:29:47 Hours
උසස්වීම් ලද ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකාය මූලස්ථානයේදී පැවැත්විණි.
එම රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කසුන් අධිකාරි විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක ශ්‍රී ලංකා සංඥා බලකායේ රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට ද එතුමන් සහභාගී විය.
නිලධාරි නිවස්නයේදී පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත දසනායක එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූවේය. ඉන් අනතුරුව, එම රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක කාර්යාලයේදී ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත් සමඟින් සුහද හමුවක් ද පැවැත්විණි.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේදී එම රෙජිමේන්තුවේ සියලු නිලධාරින් සමඟින් පැවති දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් සහභාගී විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්රදානය කෙරිණි.