26th February 2024 12:06:29 Hours
දඹුල්ල, හල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2024 පෙබරවාරි මස 22 සහ 23 දෙදින තුළ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සැමරුම් උත්සවයක් පැවැත්විණි.
සංවත්සර සැමරුමට සමගාමීව එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා එම රෙජිමේන්තු භටපිරිස් වෙනුවෙන් ආශිර්වාද එක්කර පසුදින උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය පූජාකරනු ලැබීය. සංවත්සර දිනයේදී රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව, එම රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකළ බලකාධිපතිතුමන් වෙත රෙජිමේන්තු ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පුදකළහ.
බලකාධිපතිතුමන් භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සේවය පැසසුමට ලක්කිරීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවිය.
සංවත්සර සැමරුම් උත්සවය සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.