20th February 2024 09:55:51 Hours
මෙරට, ඉන්දීය මහ කොමසාරිස් ගරු සන්තෝෂ් ජා (Santosh Jha) පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව 1987-1990 කාලය තුලදී සිදුකරනු ලැබූ සාම සාධක මෙහෙයුම් වලදී දිවි පිදූ ඉන්දීය සාම සාධක හමුදාවේ රණවිරුවන් වෙත යාපනය, පලාලි, ඉන්දීය සාමසාධක හමුදා ස්මාරකය අභියසදී උපහාර දැක්වීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එම අවස්ථාවට පැමිණි එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. යාපනය, ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා ද (Shri Raakesh Natraj) මෙම උපහාර දැක්වීමේ අවස්ථාවට සහභාගී විය.
උත්සවයෙන් අනතුරුව, ඉන්දීය මහ කොමසාරිස්තුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සුහඳ සාකච්ඡාවක නිරත වූහ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනයේ පිහිටි ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද මෙම සමරුම් උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ දෙරටෙහි යුද්ධ හමුදා භටපිරිස් ද සහභාගි වූහ.