Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2024 21:26:05 Hours

සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙයි

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම ඉහල නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් බදාදා (පෙබවරවාරි මස 14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සෞඛ්‍ය, වෛද්‍ය සේවා සහ අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රයන් සඳහා සහන සැලසේ.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි විය. ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීය. පසුව, සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා මෙම වැඩසටහන අළලා සැකසූ කෙටි වීඩියෝපටයක් ප්‍රදර්ශනය කෙරිණි.

උත්සවයේ පළමු අදියර වශයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව 2022 සහ 2023 වසරවල 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දූ දරුවන් 25 දෙනෙකු වෙත සංකේතාත්මකව පාසල් උපකරණ කට්ටල බෙදා දෙන ලදී. තවද, මෙම වැඩසටහනට සමගාමීව තවත් දූ දරුවන් 635 දෙනෙකු වෙත එම පාසල් උපකරණ කට්ටල බෙදාදීමට නියමිතව ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් හා පුද්ගලික අංශයේ රෝහල් නියෝජිතයින් කිහිපදෙනෙකු අතර මූල්‍යමය නොවන වෛද්‍ය හිමිකම් ප්‍රතිපත්තියක් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද මෙහිදී සිදු කෙරිණි. මෙම ගිවිසුම යටතේ දිවයින පුරා පිහිටි පුද්ගලික අංශයේ රෝහල් 33 ක් තුළින් යුද්ධ හමුදා සාමාජිකයින්ට අවහිරතාවයකින් තොරව වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතී. සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුවසහන රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ එම රෝහල් බිල්පත් සෘජුවම පියවනු ලබන අතර, එතුලින් කඩිනම් සහ ඉතා පහසු වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතී. මීට අමතරව ආසිරි රෝහල වෙතින් අවශ්‍යතා සහිත යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දුවා දරුවන් වෙනුවෙන් මසකට හෘද රෝග සැත්කම් දෙකකට අනුග්‍රාහකත්වය ලබාදීමට කටයුතු සූදානම් කර ඇති අතර, එහිදී එක් දරුවකුගේ සැත්කමක් වෙනුවෙන් රුපියල් මිලියන 1.5 ක් දක්වා වෛද්‍ය පහසුකම් ලබාදෙනු ලබයි. එහි පළමු පරිත්‍යාගය යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සාමාජිකයෙකුගේ දරුවෙකුගේ හෘද රෝග සැත්කමක් වෙනුවෙන් ලබාදෙන ලදී.

මෙම සුබසාධන වැඩසටහන යටතේ උත්සව අවස්ථාවට සහභාගී වූ ළමුන් 25 දෙනෙකු වෙනුවෙන් රුපියල් 5000.00 ක වටිනාකමකින් යුත් ‘Study Budy’ වෙබ් අයදුම්පත් බෙදාදුන් අතර, තවත් ළමුන් 635 දෙනෙකුගේ අතර එම වෙබ් අයදුම්පත් බෙදාදීමට වැඩිදුර කටයුතු සූදානම් කර ඇත. පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත සිදේශ් සංජීව මහතා විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

සුබසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් මෙම වැඩසටහන අතරතුර යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථාන පුස්තකාලය වෙත රුපියල් මිලියනයක වටිනාකමකින් යුත් පොත් පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී විසින් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුබසාධක අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී විසින් ස්තුති කතාව සිදුකරන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.