Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2024 21:27:48 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් බදාදා (පෙබරවාරි මස 09) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කළ අතර, 2009 මැයි මාසයට ප්‍රථම ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පල කළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී, එතුමන් වෙත මෙම අවස්ථාවට ආරාධනා කිරීම වෙනුවෙන් සහ රාජකාරි කාලසීමාවේදී ලබාදුන් මඟපෙන්වීම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව මව්බිම සුරැකීමේ කාර්යභාරයේ නිරතව සිටියදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් මේජර් ජෙනරල් පී.එන් ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් පී.එන්. ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් පී.එන්. ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ1990 නොවැම්බර් මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් පී.එන්. ගොඩැල්ලවත්ත යූඑස්පී පීඑස්සී රත්මලාන ප්‍රදේශයේ ස්ථාපිත ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 8 සහ දියතලාව ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි සාර්ථකව අවසන් කර 1992 නොවැම්බර් මස 14 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලැබූ එතුමන් 2024 පෙබරවාරි මස 04 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ ධුරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළදී 6 සහ 7 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි කණ්ඩභාර නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි කැඩෙට් නිලධාරී අංශයේ නිලධාරි උපදේශක, 6 සහ 8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායන්හි බලඝණ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද සේවා ලේකම් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි II (නිලධාරී අංශය) සහ මාණ්ඩලික නිලධාරි II (ප්‍රවර්ධන අංශය), 8 කාර්ය සාධක බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 68 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි I (පාලන), 7 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන අධ්‍යක්‍ෂ , 515 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළදී, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, කාලතුවක්කු නිරීක්‍ෂණ පාඨමාලාව, මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව, සන්නද්ධ ගැටුම් පිළිබඳ නීති උපදේශකවරුන්ගේ පුහුණු පාඨමාලාව, මානව හිමිකම් උපදේශක පුහුණු පාඨමාලාව, උසස් හමුදා තාක්‍ෂණ සංස්කරණ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකාබද්ධ නිලධාරී බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලාව - ඉන්දියාව, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්ථානය, ජාත්‍යන්තර බිම්බෝම්බ ප්‍රමිති මට්ටම 3 පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීමේ පාඨමාලාව - එක්සත් රාජධානිය, පතල් සහ පිපිරුම් මෙහෙයුම් පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව - චීනය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සමාජීය අවදානම් කළමනාකරණ පාඨමාලාව - කෙන්යාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ආරක්‍ෂක අධ්‍යයන) උපාධිය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ භඨකාර්ය සම්පාදන කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය ද හදාරා ඇත.