Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2024 18:27:07 Hours

යුද්ධ හමුදාවේ ඉංජිනේරු වෘත්තීන්හි නියැලෙන නිලධාරීන් 100 දෙනෙකු වෙත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ සාමාජිකත්වය

යුද්ධ හමුදාවේ ඉංජිනේරු සහ තාක්‍ෂණික කටයුතු දියුණුකිරීම සඳහා දැක්වූ දායකත්වය සහ කැපවීම අගයමින් යුද්ධ හමුදාවේ විවිධ ඉංජිනේරු වෘත්තීන්හි නියැළෙන නිලධාරීන් කණ්ඩායමක් වෙත ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලයේ (CMETSL) සාමාජික සහතිකපත්‍ සහ හැඳුනුම්පත් ලබාදීම යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

උත්සව අවස්ථාවේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එල්. මුණසිංහ යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සුරතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අයත් සුදුසුකම්ලත් නිලධාරීන් 100 දෙනෙකු වෙත සාමාජිකත්ව සහතිකපත් සහ හැඳුනුම්පත් පිරිනමනු ලැබූහ.

විශේෂඥ දැනුමක් සහිත හමුදා ඉංජිනේරු වෘත්තීන්හි නියැලෙන නිලධාරීන්ගේ අසහාය දැනුම හා කුසලතාවයන් ඕනෑම අවස්ථාවක රටෙහි ජාතික අරමුණු සහ සංවර්ධන කටයුතු සඳහා යෙදවීම අත්‍යවශ්‍ය කරුණක් බැවින් රජයේ ව්‍යාපෘතිවලට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය දිවියට සහ සංග්‍රාමික කටයුතු සඳහා ද මෙම දැනුම ඉවහල් වේ. ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්‍ෂණ විද්‍යාලය ත්‍රිවිධ හමුදාවන්ගේ ඉංජිනේරු වෘත්තීන්හි නියැලෙන්නන් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වෘත්තීය ආයතනයකි. මේ වනවිට ත්‍රිවිධ හමුදාවේ විවිධ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි නිලධාරීන් 2000 කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, යුද්ධ හමුදා නිලධාරීන් 736 දෙනෙකු ද ඊට ඇතුළත්ය.

සහතිකපත්‍ ප්‍රධානෝත්සවයට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.