Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2024 18:34:40 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් ඉකුත් අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් යුද්ධ හමුදාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය. මව්බිම ත්‍රස්තවාදයෙන් මුදවාගැනීම වෙනුවෙන් 2009 මැයි මාසයට ප්‍රථම ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේදී එතුමන් දැක්වූ සක්‍රීය දායකත්වය සහ අගනා කාර්යභාරය වෙනුවෙන් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව රාජකාරියේ නිරතව සිටියදී එතුමන් වෙත පවුලේ සාමාජිකයන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය ස්තූතිය පුදකරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ තනතුරු හෙබවීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාවය පුදකළේය. සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජූලි මස 14 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුනු මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 සාර්ථකව අවසන් කර දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 බතරොයියේ කණ්ඩභාර නිලධාරි, යුද්ධ හමුදා පුහුණු පාසලේ කණ්ඩභාර නිලධාරි, 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ විධායක අධිකාරි, 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 බතරොයියේ කණ්ඩභාර නිලධාරි, 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 14 බතරොයියේ බතරොයි කපිතාන්, කාලතුවක්කු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), 6 ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 16 බතරොයියේ බතරොයි කපිතාන්, 23 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), කාලතුවක්කු බලසේනාවේ බලසේනා මේජර්, 11 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ශ්‍රී ලංකා බලඇණියේ අතිරේක අණදෙන නිලධාරි, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමසාධක මෙහෙයුම් අංශයේ මාණ්ඩලික නිලධාරි 1 (අතිරේක), 8 මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (පුහුණු), දකුණු සුඩානයේ, අබෙයි එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ, 592 පාබල බලසේනාවේ කාර්යය නියුක්ත බලසේනාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් වෙත රණශූර පදක්කම පිරිනමා ඇත.

මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය හමුදා දිවිය තුළ කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, කාලතුවක්කු තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව, නිලධාරීන්ගේ නිරීක්‍ෂණ සහ ඉලක්කපත් හඳුනාගැනීමේ පාඨමාලාව - ඉන්දියාව, උසස් කාලතුවක්කු පුහුණු පාඨමාලාව - ඉන්දියාව, දීර්ඝකාලීන කාලතුවක්කු උපදේශන පාඨමාලාව - ඉන්දියාව, කාලතුවක්කු බලඇණි අණදෙන නිලධාරි පාඨමාලාව - චීනය සහ ජාතික ආරක්‍ෂක පාඨමාලාව - බංග්ලාදේශය ඇතුළු දේශීය හා විදේශීය පාඨමාලා රාශියක් හදාරා ඇත. මීට අමතරව, එතුමන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආපදා විශ්ලේෂණය, කළමණාකරණය සහ මැඩපැවැත්වීම පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.