Header

Sri Lanka Army

Defender of the Nation

09th January 2024 20:27:28 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කාර්යයේනියතු රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 09) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් සිදුකළ අනුපමේය සේවය සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළ අතර, එහිදී එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ද සුබපැතුම් පිරිනැමිණි.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළදී ලබාදුන් දිරිගැන්වීම සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ සුරතින් මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1988 ඔක්තෝම්බර් මස 06 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 6 යටතේ සහ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික යුධ පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්ත කෙරිණි. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2021 අගොස්තු මස 02 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කාර්යයේ නියුතු රෙජිමේන්තු අධිපති ධූරයන් හෙබවීය. එතුමන්ගේ සේවා කාලය තුළ 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කණ්ඩභාර නිලධාරි, 2 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත), 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරි අණදෙන, පාබල පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ විධායක අධිකාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි පුහුණු අංශයේ නිලධාරි උපදේශක, 552 පාබල බලසේනාවේ බලසේනා මේජර්, 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රියාන්විත සහ පුහුණු නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2 (සැපයුම සහ ප්‍රවාහන), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ නිලධාරි අණදෙන, 55 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (ක්‍රියාන්විත/පුහුණු), 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි (නියෝජ්‍ය ප්‍රධානි - යූ9), ආරක්‍ෂක සේනා මූලස්ථානය - දකුණ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), යුද්ධ හමුදා පුහුණු පාසලේ පුහුණු අණදෙන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික), 521 සහ 582 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවා ඇත.

සටන් බිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ගේ සේවා කාලය තුළ කණ්ඩභාර නිලධාරි උපක්‍රමික පාඨමාලාව, නිලධාරී ක්‍රියාන්විත මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීති හා මානව හිමිකම් පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව - බංගලාදේශය, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජාත්‍යන්තර ආරක්‍ෂක නිලධාරී පුහුණු පාඨමාලාව - වියට්නාමය සහ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පාඨමාලාව - චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙටිට්ආරචිච් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු පීඑස්සී ඉන්දියාවේ, දේවි අහිල්යා විශ්වවිද්‍යාලය තුළින් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තුළින් ශාස්ත්‍රවේදී උපාධිය (ආරක්‍ෂක අධ්‍යයන) සහ චීනයේ ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සුදුසුකම් ද සපුරා ඇත.